පාප්තුමා පේරු රටේ



චිලී සංචාරය අවසන් කිරීමෙන් පසු ශුද්ධෝත්තම පාප්තුමෝ අසල්වැසි පේරු රාජ්‍යය බලා පැමිණියහ.

පාප්තුමාගේ ලතින් ඇමෙරිකා සංචාරයේ අවසන් අදිරය මෙයයි. පේරු රටේ ලීමා අගනුවර ගුවන් තොටුපොළට සැපත්වුණු පාප්තුමා පිළිගැනීමට පේරු ජනාධිපති පේද්‍රෝ පාබ්ලෝ කුසින්ස්කී ද පැමිණ සිටියේය.

මහත් ගෞරවයෙන් සහ භක්තියෙන් පාප්තුමා පිළිගනිමින්, ජනපති කුසින්ස්කී උන්වහන්සේ හඳුන්වා දුන්නේ ‘සාමයේත් බලාපොරොත්තුවේත් සංඛේතය’ කියාය.

පාප්තුමා පේරු රාජ්‍යයට පැමිණියේ එරට දේශපාලනික අර්බුදයක් පැවැති අවස්ථාවකදීය. පාප්තුමන් සහ පේරු ජනාධිපති අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. එහිදී පේරු රටේ හටගෙන ඇති දේශපාලන අර්බුදය ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
පේරු රටේ අර්බුදයක් නිර්මාණය වූයේ පසුගිය වසරේ නත්තල් දා සිටය. පේරු වැසියන්ගෙන් ජනාධිපති කුසින්ස්කී දැඩි විරෝධයක් එල්ල වී තිබේ. විරෝධතා රැලි තවමත් පැවැත්වෙයි.

විරෝධතාවට හේතුවූයේ පේරු රටේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆූජිමෝරි සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති කුසින්ස්කී ලබා දුන් තීන්දුවක් මුල්කොට ගනිමිනි.

ඇල්බර්ටෝ ෆූජිමෝරි පේරු රටේ ජනපති ධුරය හෙබවූයේ 1990 සිට 2000 තෙක් කාලයේය. ෆූජිමෝරිගේ පාලන සමය ඒකාධිපති ස්වරූපයක් ගත්තේය. විපක්ෂ දේශපාලන  ක්‍රියාකාරීන් සහ පේරු වැසියන්ට එරෙහිව දැඩි මර්දනකාරී ක්‍රියා පිළිවෙතක් ෆූජිමෝරිගේ අනුගමනය කළේය.

අවසානයේ දී බලයෙන් ඉවත් වීමෙන් පසු මානව හිමිකම් උල්ලංගනය කිරීම සහ දූෂණ වංචා ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් ෆූජිමෝරි වරදකරු විය. ඔහුට 25 වසරක සිර දඬුවමක් නියම කෙරුණි.

කෙසේ නමුත් ෆූජිමෝරිගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය පෙන්වා දෙමින් ඔහුට සමාව දීමට කුසින්ස්කී පියවර ගත්තේය. ඒ, පසුගිය නත්තල් දිනයේය. මෙය පේරු වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. ජනපති කුසින්ස්කී සහ ඔහුගේ රජයට එරෙහිව විරෝධතා නිර්මාණය වූයේ එම අවස්ථාවේ සිටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS