පාඩුව ඩොලර් මිලියන 40 ක්



ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර හෙට (12) පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුව වෙනුවෙන් ඩොලර් මිලියන 40 කට ආසන්න මුදලක පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි සිංගප්පූරු අගමැති ලී සියැන් ලොන් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව හෙට (12) සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ ‘කැපෙල්ලා’ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. නායකයන් දෙදෙනා අතර හමුව සිංගප්පූරු වේලාවෙන් උදෑසන 9ට (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30) ආරම්භ වීමට නියමිතය.

“මෙම සුවිශේෂී හමුව වෙනුවෙන් අපට අති විශාල මුදලක් දරන්නට සිදුව තිබෙනවා. අප එම මුදල ලෝකය සාමය වෙනුවෙන් කැප කරනවා. ඒ වගේම මේ හමුව අපට ධන ලකුණක්. සිංගප්පූරුවට මොනව කරන්න පුළුවන් කියලා ලෝකයට පෙන්වන්න අවස්ථාවක් අපට ලැබිලා තිබෙනවා. ඒ වගේම අපේ රටට අති විශාල ප්‍රසිද්ධයක් ලැබෙනවා” යැයි මාධ්‍යවේදීන් හමුවෙමින් සිංගප්පූරු අගමැතිවරයා කීවේය.

ට්‍රම්ප් - කිම් හමුවේ සත්කාරකත්වය වෙනුවෙන් ඩොලර් මිලියන 20ක මුදලක් ද එහි ආරක්ෂාව වෙනුවෙන් ඩොලර් මිලියන 10ක් සහ හමුව ආවරණය කිරීම වෙනුවෙන් පැමිණෙන මාධ්‍යවේදීන්ට පහසුකම් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 5කට ආසන්න මුදලක් වැය වන බව ද අගමැති සිංගප්පූරු ලී තවදුරටත් කීය.

හර්ෂණ තුෂාර සිල්වා
(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS