පාකිස්තානය නිදහස සමරයි



පාකිස්තානයේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් විශේෂ උත්සවයක් කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේදී ඊයේ (14) පෙරවරුවේ පැවැත්විණි.

පාකිස්තානය ශක්තිමත්, ජවසම්පන්න, ප්‍රගතිශීලී, ඉවසිලිවන්ත හා ප්‍රජාතන්ත්‍රවාදී ඉස්ලාමීය සුබ සාධන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ තේමාව යටතේ එම උත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පාකිස්තාන ජාතික ධජය ඔසවමින් උත්සවය ආරම්භ කළේය.

ඉන් අනතුරුව වාණිජ ලේකම් අස්මා කමල් පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අලවි මහතාගේ නිදහස් දින පණිවිඩය කියවූවාය.

“අතීතයේ දී මෙන් නොව, මෙවර නිදහස් දිනය සමරන්නේ ඉතා දුෂ්කර තත්ත්වයක සිටය. අප ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර සහ අභියෝගාත්මක කාලයකි. මුළු ලෝකයම පීඩාවට පත් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇතුළු සියලු අංශ කෙරෙහි ඉතා විනාශකාරී බලපෑමක් එල්ල කර ඇත. එහෙත් අපි සාර්ථික උපායමාර්ග ක්‍රියාත්මක කරමින් මේ රෝගය පාලනය කරමින් සාර්ථකත්වය අත්පත් කරගෙන තිබෙනවා’’ යැයි පාකිස්තාන ජනාධිපතිවරයාගේ නිදහස් දින පණිවුඩය උපුටා දක්වමින් ඇය කීවාය.

මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබුබකර් ෆාහඩ් මහත්මිය, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පණිවුඩය කියවූවාය.

“අපි මෙම නිදහස් දිනය සමරන විට, ජම්මු හා කාශ්මීරයේ ඉන්දියානු ආක්‍රමණයෙන් පසුගිය වසරක කාලයක් තිස්සේ හමුදා වටලෑමකට මුහුණ දී සිටින ජම්මු හා කාශ්මීරයේ අපගේ සහෝදරයන් විඳින දුක් ගැහැට ගැන අපගේ හදවත් කනගාටුවට පත්වේ. අපගේ කාශ්මීර සහෝදරයන්ගේ ස්වයං නිර්ණ අයිතිය සඳහා වන අරගලයේ අපි ස්ථිරව සිටිමු. හැකි සෑම සංසදයකදීම අපි අසරණ කාශ්මීර ජනතාවගේ හඬ දිගටම ඉහළ නංවන්නෙමු. ජම්මු හා කාශ්මීරයේ බරපතළ මානව හිමිකම් උල්ලංඝණ කිරීම් සහ කලාපයේ සාමයට හා ආරක්ෂාවට ඇති තර්ජන පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම අපි දිගටම කරගෙන යන්නෙමු" පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ නිදහස් දින පණිවුඩයේ දැක්විණි.

වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා ද මෙහිදි අදහස් දැක්වූවේය. නොවිසඳුණු අභියෝගවලට මුහුණ දී පාකිස්තානයේ සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා අසමසම කැපකිරීම් කළ ජාතියේ මුතුන් මිත්තන්ට උපහාර දැක්විය යුතු බව ද හෙතෙම කීය. එහි ආරම්භකයන්ගේ සිහින සැබෑ කර ගැනීම සඳහා කටයුතු කිරීම සියලු පාකිස්තානුවන්ගේ වගකීම බව ද ඔහු අවධාරණය කළේය. මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා සමාජයේ සියලු ස්ථර හා මට්ටම් අතර හොඳ සබඳතා, සමගිය හා සහෝදරත්වය තිබිය යුතු බව ද ඔහු පැවසීය.

අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ සමීප සහයෝගීතාවය මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවලට පාකිස්තානය විශාල වැදගත්කමක් ලබා දෙන බව ද ශ්‍රී ලංකාව හා පාකිස්තාන සබඳතා පිළිබඳව වැඩබලන මහ කොමසාරිස්වරයා කීවේය.

පාකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් අඛණ්ඩුව එම සහයෝගය දෙන බවත හෙතෙම වැඩිදුරටත් කීවේය.

මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ වෙසෙන පාකිස්තාන ප්‍රජාව, අමුත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


RECOMMEND POSTS