පාකිස්තාන අවන්හලක රොබෝ කෙල්ලෝ



ජපානයේ සහ චීනයේ මෙන්, පාකිස්තානයේ අවන්හලක ද රොබෝ වේටර්වරියක් දකින්න ලැබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම රොබෝ වේටර්වරියන් දකින්න ලැබෙන්නේ, පාකිස්තානයේ මුල්තාන් නගරයේ ‘පීසා’ අවන්හලකය. රොබෝ වේටර්වරියන්ගෙන් සැදුම්ලත් පළමු පාකිස්තාන අවන්හල මෙයයි.

මුල්තාන් පාකිස්තානයේ ඉපැරැණි නගරයකි. සූෆි මුස්ලිම් පල්ලි, අඹ වතු සහ අත්කම් නිර්මාණවලට ප්‍රසිද්ධ මුල්තාන් නුවර අද වනවිට රොබෝ වේටර්වරියන් නිසා ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත.

රොබෝ වේටර්වරියන් දකින්න ලැබෙන්නේ ‘පීසා ඩොට් කොම්’ නමැති අවන්හලේය. පීසා පමණක් නොව, තවත් ප්‍රණීත කෙටි කෑම සඳහා මෙම අවන්හල ප්‍රසිද්ධියට පත් වී ඇතැයි ද වාර්තා වේ.

අවන්හලේ හිමිකරු ඔසාමා ජෆීර්ය. අවන්හලේ වේටර් රොබෝවරියන් තිදෙනකු සේවය කරන අතර ඔවුන් රබියා, ඈනී සහ ජෙනී යනුවෙන් නම් කර ඇත. රොබෝවරියන් නිර්මාණය කරනු ලැබ ඇත්තේ ද හිමිකරු ඔසාමා ජෆීර් විසින්මය.

24 හැවිරිදි වියෙහි පසුවන ඔසාමා ජෆීර් පාකිස්තාන විද්‍යා සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. තම පවුලේ අවන්හලට මෙසේ රොබෝ වේටර්වරියන් යෙදවීමට තමාට සිත් පහල වූයේ චීන රොබෝ වේටර්වරුන්ගේ විඩියෝවක් දැකීමෙන් යැයි ඔසාමා ජෆීර් කියා සිටී.

ජපානයේ සහ චීනයේ දියුණු නගරවල පිහිටා ඇති අවන්හල්වල රොබෝ වේටර්වරියන් පමණක් නොව පිරිසුදු කිරීමේ රොබෝ සේවක සේවිකාවන් ද බහුල වශයෙන් දකින්න ලැබේ. ජපානයේ ඇතැම් සංචාරක හෝටල්වල පිළිගැනීමේ නිලධාරිනියන් ලෙස කටයුතු කරන්නේ සුරූපී රොබෝ යුවතියන්ය. ජපානයට වඩා සුරූපී රොබෝවරියන් නිර්මාණය අතින් ඉදිරියට පැමිණීමට සමත් වී සිටින්නේ චීනයයි.

තමා නිර්මාණය කළ රොබෝ වේටර්වරියන් චීනයේ සහ ජපානයේ දකින්න ලැබෙන රොබෝ වේටර්වරුන් මෙන් තාක්ෂණයෙන් දියුණු අය නොවන බව ඔසාමා ජෆීර් පැහැදිලි කරයි. ඔසාමා භාවිතා කර ඇත්තේ සරල තාක්ෂණයක් පමණි. එක් රොබෝවරියක නිර්මාණය සඳහා තමන්ට පාකිස්තාන රුපියල් ලක්ෂ 6 ක් (ඇමෙරිකන් ඩොලර් 6,000 ක්) වැයවුණැයි ඔසාමා කියා සිටී.  තමන්ට තම මවගෙන් සහ පියාගෙන් විශාල සහායක් ලැබෙන බව ද ඔසාමා මාධ්‍ය හමුවේ පවසා ඇත.

රොබෝවරියන්ට අවන්හලේ මේස වෙත යෑමට වෙනම තීරුවක් සකසා ඇත. විදුලි දුම්රියක් දුම්රිය මාර්ගයේ ගමන් කරනවා සේ රොබෝවරියන් එම මාර්ගයේ එහෙ මෙහ යයි.

අවශ්‍ය මේසයට ඔවුන් යොමු කිරීම සිදු කෙරේ. චීන සහ ජපාන රොබෝවරුන්ට මෙන් නොව, ඔසාමා ජෆීර් නිර්මාණය කර රොබෝ වේටර්වරියන්ට කතා කිරීමට හෝ ‘ටිප්’ ලබා ගැනීමට හෝ නොහැකිය. ඉදිරියේ දී වඩාත් ක්‍රියාකාරී රොබෝ වේටර්වරියන් නිර්මාණයට තමන් යොමු වන බව ඔසාමා ජෆීර් වැඩිදුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS