නංගි ඇවිල්ලා



උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගණිය කිම් ජෝ යංග් දකුණු කොරියාවට පැමිණියාය. ඒ, දකුණු කොරියාවේ අද (9) ආරම්භ වන සීත ඔලිම්පික් උලෙළ සමාරම්භක අවස්ථාව වෙනුවෙනි.

කිම් ජොන් උන් පසුගිය වසර අවසානයේ බාල නැගණිය කිම් ජෝ යංග් ට බලතල පවරා දීමක් කළේය. ඇය අද ඔහුගේ දෙවැනියා ලෙසත් රාජ්‍ය උපදේශකවරිය ලෙසත් කටයුතු කරන්නීය.

මානව හිමිකම් උල්ලංගනය කළේ යැයි කිම් ජෝ යංග් ට එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බාධක පැනැවීමක් කර ඇත. එම සම්බාධක අනුව ඇයට විදෙස් සංචාර තහනම්ය.

කිම් ජෝ යංග් දකුණු කොරියාවට පැමිණෙන්නේ, දකුණු කොරියානු බලධාරීන් එක්සත් ජාතීන්ගෙන් ඇය වෙනුවෙන් අවසර දෙන්නැයි කළ ඉල්ලීමට, එක්සත් ජාතින්ගේ සංවිධානය ‘එකපයින්’ කැමැත්ත පළ කිරීමත් සමඟය.

1950 සිට 53 තෙක් කාලයේ කොරියානු යුද්ධයෙන් පසු, උතුරු කොරියානු ‘පාලක පවුලේ’ සාමාජිකයෙකු දකුණු කොරියාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වෙයි.

මෙය දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර යහපත් සබඳතා ගොඩනැගීමෙහිලා පළමු පියවර වනු ඇතැයි ද බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. උතුරු සහ දකුණු ආදී වශයෙන්, බෙදී වෙන්වී සිටින්නේ එකම ජාතියකි.

කිම් ජෝ යංග් දකුණු කොරියාවට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් මැද, උතුරු කොරියානු රජයේ විශේෂ ජෙට් යානයකිනි. කිම් ජෝ යංග් සමඟ උතුරු කොරියානු රජයේ විශේෂ නියෝජිත පිරිසක් ද සෝල් අගනුවරට පැමිණියේය.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ප්‍රමුඛ රජය ඔවුන් පිළිගත්තේ මහත් හරසරිනි. කිම් ජෝ යංග් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සුහඳ මෙන්ම උණුසුම් කථාබහක් පැවැත්විණි.

කිසිදු අඩුපාඩුවක් නොවන ආකාරයට, උතුරු කොරියානුවන්ට කිසිදු අයුරකින් ‘මදිපුංචිකමක්’ සිදු නොවන ආකාරයට, සියලු කටයුතු සිදු කරමින්, උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගැනීමට දකුණු කොරියානු රජය පියවර ගෙන තිබීම ජාත්‍යන්තරයේ පැසැසුමට හේතුවක් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS