දූගේ මඟුල හරි හරියට



තම එකම දියණිය වන කියංග් අයූගේ මංගල උත්සවය, ‘ජවානීස් සම්ප්‍රදායට’ අනුව මහ ඉහළින් පැවැත්වීමට ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පියවර ගත් අතර, එම මංගල උත්සවය මුළු ලොවේම අවධානය දිනා ගත් බව බි්‍රතාන්‍ය බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

නැටුම් ශිල්පීන් පිරිවරා ගනිමින්, අලංකාර ලෙස සරසන ලද අශ්ව කරත්තවලින් යුත් මංගල පෙරහර සජීවී ලෙස එරට රූපවාහිනියෙන් ද විකාශය කෙරුණි.

මංගල උත්සවයට ආරාධිත අමුත්තෝ 8,000 ක පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් අතරේ දේශපාලනඥයෝ රැසක් වූහ.කෙසේ නමුත් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන කිසිවකුවත් ඒ අතර නොසිටි බව ඉන්දුනීසියා පුවත් සේවා වාර්තා කරයි.

මංගල දිනය පෙර, ‘ජවානීස් සම්ප්‍රදායට’ අනුව ජනපති ජෝකෝ විඩෝඩෝ, බිරිය සහ දියණිය චාරිත්‍ර රැසකට ද සහභාගී වූහ.

මංගල පෙරහර පැවැත්වුණේ ජනපති උපන් නගරය ලෙස සැළකෙන මධ්‍යම ජාවාහි සෝලෝ එසේත් නැතිනම් සුරකරාටාහිදීය.

මනමාලියගේ පාර්ශ්වය සම්ප්‍රදායික ඇඳුමින් සැරැසී පෙරහරට එක් වී සිටියේ අලංකාර අයුරිනි. පා පැදි රික්ෂෝ කරත්ත 50 ක් ද පෙරහරට යොදා ගෙන තිබුණි.

26 හැවිරිදි කියංග් අයූගේ අත ගත් වාසනාවන්තයා වූයේ ඉන්දුනීසියානු ජාතික ව්‍යාපාරිකයෙකි. මොහොම්මද් බොබී අෆීෆ් නසුටීන් නමැති ඔහු ‘බටාක්’ නමැති වාර්ගික ජනයාගෙන් කෙනෙකි.

ඉන්දුනීසියා ජනපති විඩෝඩෝ සහ බිරියට දරුවෝ තිදෙනෙකි. ඒ එක් දියණියක සහ පුතුන් දෙදෙනෙකි. පවුලේ මද්දුමයා විවාහ වූ එම දියණියයි.

(බී.බී.සී. ඇසුරිනි)

 


RECOMMEND POSTS