තුර්කි ජනපති ට්‍රම්ප් හමුවෙයි



තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ට්‍රම්ප් හමුවීමට පැමිණි තුර්කි ජනපති එර්ඩෙගොන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. සාකච්ඡා පැවැත්වීමෙන් පසු, ජනපතිවරු දෙදෙනා මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට ද අමතක නොකළාහ.

‘තුර්කිය සහ ඇමෙරිකාව අතර පවතින මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කර ගැනීමට හැකිවුණා’ යැයි තුර්කි ජනපතිවරයා කියා සිටියේය. දෙරට අතර ශක්තිමත් බැඳීම වෙන් කළ නොමැකි බව ද ජනපතිවරු දෙදෙනා වැඩි දුරටත් කියා සිටියහ.

නේටෝ රාජ්‍යයක් වන තුර්කිය සිරියාවේ අසල්වැසියෙකි. සිරියානු අර්බුදයට තුර්කිය ද මැදිහත් වී සිටී. අයි.එස්. ත්‍රස්තවාදීන් සිරියාවට පමණක් නොව තුර්කියට ද තර්ජනයක් වී ඇත.

පසුගිය දා ඇමෙරිකා ජනපති ට්‍රම්ප් කියා සිටියේ එම ත්‍රස්තවාදීන් සහ සිරියානු රජයේ හමුදා සමඟ සටන් වදින විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහ කුර්දි සටන්කාමීන්ට අවි ආයුද ලබා දීමට සූදානමින් පසුවය බවය.

ට්‍රම්ප් මෙසේ සූදානම් වන්නේ ඇමෙරිකන් ආරක්ෂක සහ බුද්ධි අංශ උපදෙස් අනුවය. කෙසේ නමුත් තුර්කි ජනාධිපති එර්ඩෙගොන් මෙම තීරණයට සිය විරෝධය පළ කර ඇත. කුර්දි සටන්කාමීන් ශක්තිමත් කිරීම තුර්කියේ ආරක්ෂාවට තර්ජනයක් බව ජනපති එර්ඩෙගොන් ඇමෙරිකන් ජනපතිවරයාට පෙන්වා දුන්නේය. දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා පැවැත්විණි.

 (රොයිටර්)

 


RECOMMEND POSTS