තුර්කි ජනපති ඇමෙරිකාවේ



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත්විණි. ඒ, තුර්කි ජනාධිපතිවරයා වොෂින්ටනයට පැමිණි අවස්ථාවේදීය.

ධවල මන්දිරයේ දී ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් සහ බිරිඳ මෙලානියාගෙන් තුර්කි ජනාධිපතිවරයාට සහ බිරිඳට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

තුර්කිය සහ ඇමෙරිකාව අතර පළුදු වුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මෙම ජනපතිවරුන් දෙදෙනාට හැකියාව ලැබුණු බව පැවැසෙයි.

තුර්කිය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය වූයේ, සිරියාව මුල්කොට ගනිමිනි. සිරියාව තුර්කියේ අසල්වැසියාය. සිරියාවේ කුර්දිවරුන් සහ කුර්දි බෙදුම්වාදීන් ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය සලකයි. සිරියාවේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට ඇමෙරිකාවට සහාය ලැබුණේ කුර්දි සටන්කාමීන්ගෙනි. ඇමෙරිකාව සහාය දක්වන්නේ කුර්දිවරුන්ටය.

දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු, තුර්කි ජනපති එර්දොවාන් සහ ඇමෙරිකා ජනපති ට්‍රම්ප් එක්වී ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මාධ්‍ය හමුවක් පැවැත්වූහ. ‘ආරම්භයේ පටන් අප දෙදෙනාගේ මිතුදම් දිගටම පැවැතුණා. අප දෙදෙනා අතරේ මත ගැටුම් තිබුණා. ඒත් අපේ මිත්‍රත්වයට එම ගැටුම් හරස් වුණේ නැහැ. අද අප සාකච්ඡා කළා. ඒ අනුව අපට පොදු එකඟතාවක් ඇති කර ගැනීමට අපට හැකිවුණා’ යැයි ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේය.

තුර්කි ජනාධිපති එර්දොවාන් ඇමෙරිකාවට පැමිණ සිටින්නේ තුර්කි ආරක්ෂක අංශ ප්‍රධානීන් ද සමඟය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS