තරුණ සංසද වැඩසටහන



ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ තරුණ සංසද වැඩසටහන ඉකුත් සති දෙක මුළුල්ලේ කොළඹ දී පැවැත්විණි.

කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන නරගවල ඇති ‘ඇමෙරිකානු පියස’වල තරුණ සංසද වැඩසටහන්වල සාමාජිකයන් වන තරුණ නායක නායිකාවන් මෙලෙස කොළඹට පැමිණි අතර ඔවුහු නායකත්වය සහ මහජන සේවය යන වැඩමුළුවලට සහභාගී වූහ.

නොවැම්බර් මස 25 වැනිදා සිට මෙම වැඩසටහන් පැවැති අතර කොළඹ පැවැති වැඩමුළු අවසන් වීමෙන් පසු ඊට සහභාගී වූ පිරිස යාපනයට ගිය අතර එහි ‘පාසලක කියැවීමේ අවකාශ (රීඩින් කෝනර්)’ යන වැඩසටහන ආරම්භ කළහ.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ඇතුළු තරුණ තරුණියන්ගෙන් සමන්විත මෙම තරුණ සංසද ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමටත් එක්ව වැඩ කරමින් අඩු පහසුකම් සහිත ප්‍රජා සඳහා ප්‍රජා සේවා ව්‍යාපෘති සැලැසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමටත් අවස්ථාව සලසා දෙනු බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. තරුණ සංසද වැඩසටහනේ මූලික අඩිතාලම ප්‍රජා සේවය සමඟ පෞද්ගලික වෘත්තීය සංවර්ධනය යැයි එම කාර්යාලය කියයි.

තරුණ සංසදයේ ස්වේච්ඡා සේවකයන් අවම වශයෙන් මාස හයක් හා පැය 60ක සේවාවක් ඉටු කිරීමට කැප වී සිටින අතර තරුණ සංසදයේ ස්වේච්ඡා සේවකයන්ට නායකත්ව පුහුණුව, ව්‍යාපෘති කළමනාකරණ අත්දැකීම් ලබාගැනීම, අන්තර් දූපත් සංස්කෘතික හුවමාරුවලට සහභාගී වීම සහ සමාන අදහස් ඇති තරුණ හා ප්‍රජා හවුල්කරුවන් සමඟ ජාල ගොඩනැගීම ආදියට පහසුකම් සැලසේ.

තරුණ සංසදයේ ස්වේච්ඡා සේවකයන් ඔවුන්ගේ ප්‍රජා තුළ වැඩසටහන් නිර්මාණය කිරීම හා මෙහෙයවීම සිදු කරමින් නායකයන් සහ උපදේශකයන් වශයෙන් වටිනා අත්දැකීම් ලබාගන්නා බව සඳහන් කරන ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම වැඩසටහන කිසිදු මුදල් අය කිරීමකින් තොරව පැවැත්වෙන බව ද කියයි.


RECOMMEND POSTS