තරු පහට උසස් කෙරේ



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අද (19) පැවැති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කුමාර් ජයදේව කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරේත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී රොෂාන් මහේෂ් ජේම්ස් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ යන  තනතුරේත් නිල වශයෙන් අභිෂේක ගැන්වීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ උත්සවයේ නිල කටයුතු ආරම්භ කෙරුණු අතර ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියක් සහ ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම ඉන් අනතුරුව සිදුකෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රධාන පීඨීකාවට ගමන් කළහ. එයින් අනතුරුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් යන මහත්වරු වෙනම පීඨීකාවට ගමන් කළහ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ මහතාට ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවනීය තනතුරු දීම සඳහා වන උද්ධෘතය කියැවීය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවනීය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. ඊට පසුව නාවික හමුදා නිලධාරියෙක් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුරට අදාළ ධජය එසවීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතාට ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවණීය තනතුරු දීම සඳහා වන උද්ධෘතය කියැවීය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවනීය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. ඊට පසුව ගුවන් හමුදා නිලධාරියෙක් ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරට අදාළ ධජය එසවීය.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප - ඉෂාන් සංජීව

 


RECOMMEND POSTS