තනිකඩ ජීවිතයට සමුදෙන ප්‍රියංකා



බොලිවුඩයට මේ දිනවල මගුල් සක්වලක් කිව්වාට වැරදි නැහැ.අනුෂ්කා ෂර්මා, දීපිකා පදුකෝන් ගෙන පටන් ගත් බොලිවුඩ් නිළියන් ගේ විවාහක ලැයිස්තුවේ අලුත්ම සාමාජිකාවක වන්නේ බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් ජය ගත් ප්‍රියංකා චොප්රාය.

ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ විවාහ මංගල උත්සවය ජෝද්පූර්හිදී උමේද් මාළිගය යේදී ආරම්භ කිරීමට නියමිත බව බොලිවුඩ් පුවත් ගෙන එනවා. 30 වැනිදා මෙහෙන්දි උත්සවයෙන් අනතුරුව විවාහ උත්සවය අද දෙසැම්බර් 02 වැනිදා සහ 03 වැනිදා හින්දු සහ කතෝලික චාරිත්‍රානූකූලව පැවැත්වේ.

ප්‍රියංකා  - නික් ආදර කතාව සුවිශේෂි එකක් බවට පත් වූයේ දෙදෙනාගේ ජනප්‍රියත්වයට වඩා දෙදෙනාගේ වයස් පරතරය නිසාවෙනි. මේ වසරේ ජූලි මාසයට ප්‍රියංකාට 36 සපිරුණු අතර සැප්තැම්බර් 16 වැනිදා නික් සිය 26 වැනි උපන්දිය සැමරුවා. නික් සහ ප්‍රියංකාට සුබ පතමින් හොලිවුඩ් පුවත් පළ කර සිටියේ ඔවුන් අපූරු යුවළක් බවයි.

ප්‍රියංකා චොප්රා අමෙරිකානු ගායක නික් ජොනාස් සමඟින් විවාහ ගිවිස ගත්තේ පසුගිය අගෝස්තු මස මුම්බායිහි පිහිටි ඇයගේ නිවසේදීයි. හින්දු චාරිත්‍රානූකූලව පැවැති එම උත්සවය නික් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්හට අලුත් අත්දැකීමක් වුණා.

කෙටි ඇසුරකින් පසු සිදු වූ විවාහ ගිවිසගැනීම් පසුගිය කාලය තුළ කලා ලොව සුලබව දක්නට ලැබුණු අතර ප්‍රියංකා සහ නික් ජෝනස්ගේ විවාහ ගිවිස ගැනීම ද එම කුලකයටම අයත් බව බොහෝ දෙනාගේ අදහස වුණා.

හොලිවුඩයේ නළුවකු මෙන්ම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් බිහිවූ ගායකයෙකු ලෙසත් නික් ජෝනස් මේ වන විට ඉහළ ප්‍රසිද්ධියක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා.

2000 වසරේදී ලෝක රූ රැජන කිරුළ දිනා ගත් ප්‍රියංකා චොප්රා Kaminey, 7 Khoon Maaf (2011), Barfi! (2012), Mary Kom (2014), and Bajirao Mastani (2015)  වැනි චිත්‍රපට සේම වානිජ අතින් ඉහළ සාර්ථකත්වයත් ලද Don 2, and Krrish 3 ඇතුලුව බොලිවුඩ් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දී තිබෙනවා. ඇය හොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් වූයේ, Quantico ටෙලිනාට්‍ය මාලාවෙන් සහ Ventilator, Baywatch, A Kid like Jake  යන හොලිවුඩ් සිනමාපටවල රංගනයෙනි.

බොලිවුඩයේ ඉහලම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර රැඳී සිටින ඇයගේ නම 2016 වසරේ ටයිම් සඟරාව පළ කළ ලොව වැඩිම බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන් 100 අතර මෙන්ම 2017 වසරේ ෆෝබ්ස් සඟරාව පළ කළ ලොව බලවත්ම කාන්තාවන් 100 අතර ද සටහන් වී තිබුණි.

එසේම ඇය බ්‍රිතාන්‍ය යේ හැරී කුමරුගේ සහ මේගන් මාකල් ගේ රාජකීය විවාහ උත්සවයේ ආරාධිතයෙකු ලෙසින්ද සහභාගි වූවාය. 2016 වසරේදී ප්‍රියංකා ඉන්දීය රජය සිවිල් පුරවැසියෙකුහට පුදන සිව්වැනි උසස්ම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන්ද පුදනු ලැබුවා.

නික්ගේ ආදර කතාවට පෙර ප්‍රියංකාගේ ජීවිතයේ තවත් ආදර කතා කිහිපයක්ම වූ බව කාටත් නොරහසක්. රූ රැජන කිරුළ පළඳීන කාලයේදී ඇගේ පළමු පෙම්වතා වූයේ අස්මීන් මර්චන්ට් නමැති නළුවෙක්. බොලිවුඩයට පැමිණි පසු අක්ෂේ කුමාර් සමඟින් පෙම් සබඳතාවක් ඇති බවට කට කතා පැතිරුණා. පසුව ඇයගේ ආදරය හිමි වූයේ නළුවකු නිෂ්පාදකයෙකු වන හර්මන් බවේජා වෙතයි.

වසර කිහිපයකින් ඒ ආදර කතාවත් නිම වූ පසු ඇයගේ නම බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් , ෂාහිඩ් කපූර්ගේ නමත් ප්‍රියංකාගේ ‍පෙම්වතුන් ලැයිස්තුවේ ඇතුලත්. නික් ජොනාස් ද සෙලීනා ගෝමස්, මිලී සයිරස්, කේට් හඩ්සන්, ලිලී කොලින්ස් වැනි හොලිවුඩ් තරු සමඟින් පෙමින් බැඳී සිටි බවත් සඳහන්.

මේ වසරේදී ඒ A Kid Like Jake නම් අමෙරිකානු චිත්‍රපටයෙන් ප්‍රියංකාගේ රංගනය දැකගත හැකි වූ අතර ඇයගේ රංගන දායකත්වය ලද Isn't It Romantic නම් අමෙරිකානු චිත්‍රපටය සහ The Sky is Pink  හින්දි චිත්‍රපටය ලබන වසරේදී තිරගත වීමට නියමිතයි.

( තිළිණි ද සිල්වා )
ෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි

RECOMMEND POSTS