ට්‍රම්ප්ට දොස්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ෆින්ලන්තයේ හෙල්සින්කී අගනුවරදී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී, ඇමෙරිකාව පාවා දුන්නේ යැයි ට්‍රම්ප් ප්‍රතිවාදීහු දොස් නගති.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති දෙරට අතරේ ඇති අර්බුද සම්බන්ධයෙන් මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය.

පසුගිය 2017 වසරේ ට්‍රම්ප් සහ පුටින් එකිනෙකා හමුවුණු නමුත්, නිල වශයෙන් සාකච්ඡා පැවැත්වීමක් කර නැත. එහෙයින්, ඊයේ (16) ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර ජනාධිපති මන්දිරයේ පැවැති හමුව ඓතිහාසික එකක් විය.

හමුව සාර්ථක වුණු බව ට්‍රම්ප් පමණක් නොව, ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් පවා පවසා ඇත. ට්‍රම්ප් සහ පුටින් අතර මුහුණට මුහුණ සාකච්ඡා පැය දෙකක් පුරා පැවැත්විණි. එම අවස්ථාවට ජනපතිවරුන් දෙදෙනා සමඟ ඔවුන්ගේ පරිවර්තකයෝ දෙදෙනා ද එක් වී සිටියහ.

රුසියා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් පවා ට්‍රම්ප්ට විරෝධයක් එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.බොහෝ දෙනකු දොස් නගා ඇත්තේ ට්‍රම්ප් ඇමෙරිකාව පාවා දුන් බවටය.

‘රුසියා බුද්ධි අංශ ඔවුන්ගේ වාසියට, ඕනෑම කෙනෙකු නම්මා ගන්නවා. ඒකට ඔවුන් ශූරයෝ. ඒත් ඔවුන් ඇමෙරිකන් ජනාධිපතිවරයකු ඔවුන්ගේ පැත්තට ගනීවි මම කවදාවත් හිතුවේ නැහැ’ යැයි ටෙක්සාස් ජනපදයේ රිපබ්ලිකන් නියෝජිත විල් හර්ඞ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

රුසියාව සහ ඇමෙරිකාව අතර ඇයිහොඳයිකම් පළුඳු වූයේ ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ සිටිද්දීය. ඒ, යුක්රේන සහ සිරියානු අර්බුදයට රුසියාව මැදිහත් වීම හෙලා දකිමිනි. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පුටින් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට උත්සාහ ගත්තේය.

2016 වසරේ දී ට්‍රම්ප් ජනපති ධුරයට පත් වුණු ජනාධිපතිවරණයට රුසියානු පරිගණක හැකර්වැරුන් මැදිහත් වූ බවටත් ට්‍රම්ප් ජයග්‍රහණය කළේ එම මැදිහත්වීමෙන් බවටත් චෝදනා එල්ල විය. ඇමෙරිකා ආරක්ෂක අංශ එම චෝදනා ඔප්පු කිරීමට ද සමත් වී සිටී. ඒ අනුව, පුටින් සමඟ මිතුදම් ඇතිකර ගැනීමට ජනාධිපති ට්‍රම්ප්ට නොහැකි විය.

පුටින් තරයේ පවසා ඇත්තේ තමන් හෝ රුසියාව හෝ ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට මැදිහත් නොවුණු බවය. ට්‍රම්ප් සහ පුටින් අතර පැවැත්වෙන හමුව සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පාක්ෂිකයන් බොහෝ දෙනකු විරෝධය පළ කර ඇති බව ද වාර්තා වේ.

ඊයේ (16) හමුව නිමාවට පත් වූයේ, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය. එහිදී ට්‍රම්ප් කියා සිටියේ, සාකච්ඡා සාර්ථක වුණු බවත්, රුසියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට තමන් සමත් වුණු බවත්ය.

රුසියානු ජනාධිපති පුටින්, එම මාධ්‍ය හමුවේදී කියා සිටියේ, පටු දේශපාලනමතධාරීන්ගේ කෙණෙහිලිකම් හේතුවෙන් රුසියාවත් ඇමෙරිකාවත් අතර සබඳතා අවුල්සහගත වී ඇති බවය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පළුදුවුණු එම සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට උත්සහ ගන්නා බව ද රුසියානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු, 2016 ඇමෙරිකන් ජනාධිපතිවරණයට මැදිහත් වී, ප්‍රතිපල වෙනස් කළේ යැයි රුසියාවට සහ රුසියානු ජනාධිපති පුටින්ට එල්ල වී ඇති චෝදනා රුසියා ජනාධිපති පුටින් යළිත් වරක් තරයේ ප්‍රතික්ෂේප කළ අතර ජනාධිපති ට්‍රම්ප් එය පිළිගත් බව ද පැවැසෙයි. ට්‍රම්ප් එසේ කළේ, ඇමෙරිකන් බුද්ධි අංශ විසින්, එය තහවුරු කරනු ලැබ ඇති අවස්ථාවකදීය. එහෙයින්, ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානීන්ගේ පවා විරෝධයට හේතුවක් විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS