ට්‍රම්ප් සූර්ය ග්‍රහණය නරඹලා



සූර්ය ග්‍රහණය ඇමෙරිකාවේ ඔරෙගොන් ජනපදයේ සිට දකුණු කැරොලයින් ජනපදය තෙක් ජනපද 14 කට පැහැදිලිව දිස්විය. ඇමෙරිකන් ජනපති මන්දිරය හෙවත් ‘ධවල මන්දිරය’ පිහිටි වොෂින්ටන් අගනුවර ද ඒ අතර විය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, බිරිඳ මෙලානියා, පුතු බැරන් සහ ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණිය මෙන්ම ඔහුගේ උපදේශිකාවක ලෙස ද කටයුතු කරන ඉවන්කා ද ධවල මන්දිරයේ සඳලු තලයේ සිට පූර්ණ සූර්ය ග්‍රහණය නැරැඹූහ.
එක් අවස්ථාවක ට්‍රම්ප්ට අමතක වී, විශේෂ කණ්ණාඩිය නොමැතිව හිරු දෙස බැලූ බව ද වොෂින්ටනයෙන් ලැබෙන පුවත් සේවා වාර්තා කරයි.

පියවි ඇසින් සූර්ය ග්‍රහණය නොබලන ලෙසත් එය ඇසට හානිකර බවත්, අන්ධභාවය ඇතිවිය හැකි බවත් නාසා ආයතනය පෙර දැනුම් දී තිබුණි.

ජනපති ට්‍රම්ප් සහ පවුලේ අය පමණක් නොව, ධවල මන්දිර කාර්ය මණ්ඩලය පවා වසර 99 කට පසු ඇමෙරිකාවට දකින්න ලැබුණු මෙම පූර්ණ සූර්ය ග්‍රහණය නැරැඹීමට යුහුසුළු වූහ. ඇමෙරිකාවට සූර්ය ග්‍රහණය දිස්වීම ආරම්භ වූයේ උදේ 9 ටය. උදේ 10.20 වෙද්දී, හිරු මුළුමනින්ම වැසී ගොස් තිබුණු අතර. මිනිත්තු 90 ක කාලයක් අඳුර පැවැතිණි.

ඇමෙරිකාවේ ජනපද 14 කට පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙස මෙය දිස් වුවත්, සෙසු ජනපදවලට මෙය දකින්න ලැබුණේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසය.

නාසා විද්‍යාඥයන් පෙන්වා දී තිබුණේ උතුරු ඇමෙරිකා මහද්වීපයට වසර 99 කට පසු දිස්වුණු පූර්ණ සූර්ය ග්‍රහණය මෙය ලෙසිනි.

අවසන් වරට ඇමෙරිකාවට සූර්ය ග්‍රහණයක් දිස්වුණැයි පැවැසෙන්නේ 1979 වසරේදීය. 21 දා සන්ධ්‍යාවේ යුරෝපා රටවල් කිහිපයකට ද මළ හිරු දකින්න ලැබුණේ අර්ධ සූර්ය ග්‍රහණයක් ලෙසිනි.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS