ට්‍රම්ප් මුස්ලිම්-අරාබි නායකයන් අමතයි



සෞදි සංචාරය අතරතුරේ කලාපීය රටවල අරාබි සහ මුස්ලිම් නායකයන්ගේ සහභාගීත්වයෙන් රියාද් නුවර පැවැත්වුණු විශේෂ සමුළුවකට ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී විය.

මැදපෙරදිග රටවල නායකයන් අමතමින් ජනපති ට්‍රම්ප්, ‘ඉස්ලාම් දහම’ ගැන විශේෂ දේශනයක් ද පැවැත්වීය. එය ලොව කාගේත් අවධානයට හේතුවක් විය.

ඉස්ලාමීය අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් සෑම මුස්ලිම් වැසියකුටම තර්ජනයක් බව ට්‍රම්ප් සිය දේශනයේ දී අවධාරණය කළේය. ත්‍රස්තවාදය පතුරුවන අන්තවාදී කණ්ඩායම් මුලිනුපුටා දැමීම කළ යුතු බවත් ඊට සාමය අගයන මුස්ලිම් වැසියන් සැවොම එක් විය යුතු බවත් ට්‍රම්ප් සිය දේශනයේ දී පෙන්වා දුන්නේය.

අහිංසකයන් අමුඅමුවේ මරාදමන, අහිංසකයන් බිල්ලට දෙන ඉස්ලාමීය අන්තවාදීන් ‘වීරයන්’ නොවන බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය. ප්‍රචණ්ඩත්වය කරා යොමුවුණොත් ආත්මයට කිසිදු සැනසීමක් ලැබෙන්නේ නැතැයි ද ජනපති ට්‍රම්ප් පැහැදිලි කළේය.

ලෝක සාමය වෙනුවෙන් තමන් ට්‍රම්ප් සමඟ එක් වීමට සූදානම් යැයි මෙම  සමුළුවේදී අරාබි සහ මුස්ලිම් නායකයෝ ප්‍රතිඥා දුන්හ.
ජනාධිපති ට්‍රම්ප්ගේ දේශනයට සවන් දීමට බිරිඳ මෙලානියා පමණක් නොව දියණිය ඉවන්කා සහ ඇගේ සැමියා ජෙරාඞ් ද පැමිණ සිටියහ. ඉවන්කා සහ ජෙරාඞ් ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරති.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් අවශ්‍ය බව තම හැඟීම බවත්, එම විසඳුම බලහත්කාරයෙන් ලබා දීම කළ නොහැකි බව ද ට්‍රම්ප් පැවැසීය. සිය දේශනයේ දී ඉරානය විවේචනය කිරීමට ද ට්‍රම්ප් අමතක නොකළේය.

මුස්ලිම් සහ අරාබි නායක සමුළුවට සමුදීමෙන් පසු, ජනපති ට්‍රම්ප්ගේ සෞදි සංචාරය නිමාවට පත්වුණු අතර, ඔහු සහ පිරිවර ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS