ට්‍රම්ප් මහ සමුළුව අමතයි



නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව පළමු වරට අමතමින්,ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්  උතුරු කොරියාව සහ ඉරානය දැඩි ලෙස විවේචනය කළේය.

උතුරු කොරියාව මිසයිල අත්හදා බලමින් දිගින් දිගටම ඇමෙරිකාවට සහ ලෝකයට තර්ජනයක් වුවහොත් උතුරු කොරියාව ‘විනාශ කිරීමට’ තමන්ට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මට්ටු කිරීමට නම් ලෝකයේ සෙසු රටවල සහාය තමන්ට අවශ්‍ය බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටියේය.

උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනැවීමට සහාය දැක්වීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් චීනයට ස්තුති කිරීමට ද අමතක නොකළේය.

ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප් අප්‍රසාදයෙන් කතා කළේය. ඉරානය සෙසු රටවල ස්වෛරීත්වය උල්ලංඝනය කරමින් ක්‍රියා කරනවා යැයි ට්‍රම්ප් චෝදනා කළේය.

ලතින් ඇමෙරිකා රාජ්‍යක් වන වෙනිසියුලාව ද ට්‍රම්ප්ගේ විවේචනයට ලක් විය. වෙනිසියුලාවේ සමාජවාදය යල් පැන ගොස් ඇතැයි ට්‍රම්ප් පැවැසීය.

ඇමෙරිකානුවන්ගේ අභිමානය වෙනුවෙන් ‘ඇමෙරිකානුවන්ට මුල්තැන’ යනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන බව ද ජනපති ට්‍රම්ප් කියා සිටියේය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS