ජී7 සමුළුව



ලෝකයේ ප්‍රබතලම ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල එකමුතුව හෙවත් ‘ජී7’ සමුළුව ඊයේ (8) සහ අද (9) කැනඩාවේ කි්‍යුබෙක් ප්‍රාන්තයේ චාර්ල්වුවා, මාල්බේහිදී පැවැත්වෙයි.

ජී 7 සමුළුවට අයත් රටවල් වන්නේ මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය සහ ජපානයයි. ඊට අමතරව යුරෝපා සංගමය වෙනුවෙන් එහි ප්‍රධානී ඩොනල්ඞ් ටස්ක් සහ යුරෝපා කොමිසමේ ප්‍රධානී ජෝන් ක්ලෝඞ් ජන්කර් ද සමුළුවට එක් වෙති.

මෙය ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහභාගී වන දෙවැනි ‘ජී7’ සමුළුවය.

ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී, පසුගිය ජූනි පළමු වැනිදා සිට යුරෝපා සංගමය, මෙක්සිකෝව සහ කැනඩාවෙන් ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් වෙනුවෙන් සියයට 25 ක බද්දක් සහ සියයට 10 ක් බැගින් බද්ධක් අය කිරීම ආරම්භ කළේය.

මෙම බද්ධ සම්බන්ධයෙන් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, බ්‍රිතාන්‍යය අගමැතිනී තෙරේසා මේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සමුළුවේදී ට්‍රම්ප්ට දොස් නැගීය. එසේ බදු අය කිරීම නීති විරෝධී බව ඔවුන් පෙන්වා දුන්නේ යැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

රුසියාව ද ලොව ආර්ථික බලවතෙකි. කෙසේ නමුත් ඔබාමා පරිපාලනය සමයේ දී ඇමෙරිකාව මැදිහත් වී රුසියාව ජී7 සාමාජිකත්වයෙන් ඉවත් කළේය.

ඊට හේතුව වූයේ රුසියාව, යුක්රේන සහ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය විරෝධයට ලක් කරමින්, ඊට එරෙහිව රුසියාවට පාඩමක් ඉගැන්වීම සඳහාය.

මෙවර ජී7 සමුළුවේදී, රුසියාව යළි ජී7 කණ්ඩායමට එක් කර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙයි. ට්‍රම්ප් සළකන්නේ රුසියානු ජනාධිපති මිතුරකු විදියටය. සමුළුව ආරම්භ වෙද්දී ට්‍රම්ප් පවසා ඇත්තේ රුසියානු ජනාධිපති පුටින් මෙහි සිටියා නම් හොඳයි කියාය.

දෙදින සමුළුව අවසන් වීමට පැය කිහිපයක් තිබියදී ට්‍රම්ප් සමුළුව හැර සිංගප්පූරුව බලා යෑමට නියමිතව ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඒ, ලබන 12 වැනිදා සිංගප්පූරුවේදී ඔහු උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවීමට නියමිතව ඇති නිසාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS