ජංගම සේවාවක්



ඊශ්‍රායලයේ වෙසෙන හා සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයින් ඉලක්ක කර ගනිමින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ජංගම සේවාවක් ඉකුත් දා හයිෆා හි පිහිටි ශාන්ත ජෝෂප් පල්ලියේ දී පැවැත් වූයේය.

එහි දී නව විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් නිකුත් කිරීම සහ භාර ගැනීම, උප්පැන්න සහතික විවාහ සහතික, පොලිස් නිෂ්කාෂණ සහතික ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්පත් නිකුත් කිරීම, ඇටෝනි බලපත්‍ර දිවුරුම් ප්‍රකාශ සහතික කිරීම, විදේශ සේවා නියුක්ති කාර්යංශ ලියාපදිංචිය යාවත්කාලින කිරීම සහ නව ලියාපදිංචි කිරීම, විදේශ රැකියා සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට සහය වීම හා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් සිදුකරනු ලබන විවිධ සේවාවන් සම්බන්ධව දැනුවත් කිරීම යන සේවාවන් සියලුම ලාංකිකයින්ට ලබා දී තිබේ.

70 වන නිදහස් සමරුව නිමිත්තෙන් තානාපති  පී. සෙල්වරාජ් මහතාගේ උපදෙස් මත පැවැති මෙම ජංගම සේවයට පැමිණි සම්භාවනීය අමුත්තන් අතර  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේක්ම් කේ.එල්.එච්.කේ විජේරත්න, එහි දෙවන ලේකම් කේ.ජී.හේම්චන්ද්‍ර ඇතුලු පිරිසක් සහභාගී වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS