ගෞතමාලාවේ ගිනි කන්දක් පිපිරේ



ලතින් ඇමෙරිකාවට අයත් ගෞතමාලාවේ ‘ෆුයේගෝ’ ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමත් සමඟ ගිනි කන්ද පාමුල ගම්මානවල වැසියෝ 65 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 200 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

බොහෝ දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ගිනි කන්දෙන් පිටවුණු සල්ෆර් මුසු විස දුමාරය හේතුවෙන්ය. ‘ෆුයේගෝ’ ගිනි කන්ද පිහිටා ඇත්තේ ගෞතමාලාවේ ‘ගෞතමාලා සිටී’ අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දකුණු දෙසිනි.

ගිනි කන්ද පිපිරීමත් සමඟ නැගුණු අළු තට්ටු කිලෝ මීටර් ගණනාවක් දුර සියලු දේ වසාගෙන ඇතැයි ද පැවැසෙයි. ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ මිලියන 1.7 ක පිරිසක් පීඩාවට පත් වූහ.

දුම් වලා හේතුවෙන් ලා අවුරෝරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමටත් ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමටත් කටයුතු කර ඇති බව ද පැවැසෙයි.

ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ ගෞතමාලා ජනාධිපති ජිමී මොරාලේස් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. විපතට පත්වූවන්ට පිහිටවීමටත්, අනතුරුදායක ස්ථානවල වෙසෙන පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමටත් ජනාධිපතිවරයා හමුදාව සහ පොලිසියට උපදෙස් ලබා දී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS