කොරෝනා මැද ඉන්දියාවේ නිදහස් සැමරුම්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඉන්දියාව 74 වැනි නිදහස් දිනය සැමරුවේය.

වයිරස වසංගතය හේතුවෙන් ප්‍රධාන සැමරුම නවදිල්ලියේ රතු බළකොටුව ආශ්‍රිතව පැවැත්වූයේ වැඩි පිරිසක් සහභාගී නොකර ගනිමිනි. මීට පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර හමුදා පෙළපාළි හෝ විචිත්‍රවත් හමුදා සංදර්ශන හෝ පැවැත්වීමක් සිදුවූයේ ද නැත.

නවදිල්ලියේ ප්‍රධාන සැමරුම් උත්සවය පමණක් නොව, ප්‍රාන්ත මට්ටමින් පැවැති සැමරුම් උත්සව ද සමාජ මාධ්‍ය සහ වෙබ් මාධ්‍ය ඔස්සේත් රූපවාහිනී නාළිකා ඔස්සේත් සජීවීව විකාශය කෙරුණි.

ඉන්දියාව මෙසේ නිදහස සමරද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද වාර්තාවක් පිහිටුවීය. ඒ, කොංග්‍රස් පක්ෂය නියෝජනය නොකරමින්, වැඩිම කාලයක් අගමැති ධුරය හෙබවූ අග්‍රාමාත්‍යවරයා වෙමිනි.

අගමැති මෝදි නියෝජනය කරන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂය නියෝජකය කරමින් වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින අග්‍රාමාත්‍යවරයා ලෙස ද මෝදි වාර්තා අතරට එක් වී ඇත.

මීට පෙර වැඩිම දින ගණනක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත්තේ අතල් බිහාරි වජ්පායි ය. ඒ දින 2,268 කි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් තෙවැනියට වැඩියෙන්ම වාර්තා වන්නේ ඉන්දියාවෙනි. පසුගිය දින කීපයහ පුරා සෑම දිනකම ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 600 කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS