කොරියා දේශසීමාවේ ට්‍රම්ප්-කිම් හමුවෙති



‘ජී20’ සමුළුව අවසන් වීමෙන් පසු, දකුණු කොරියාවට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ යුද මුක්ත කලාපයේ පිහිටි දෙරටටම පොදු කිජොංයොංග් සාම ගම්මානයේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී අතට අත දී සුහදත්වය වර්ධනය කර ගත්තේය.

ඇමෙරිකා ජනපතිවරයකු උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ, යුද මුක්ත කලාපයේ දී උතුරු කොරියා නායකයා හමුවුණු පළමු අවස්ථාව මෙයයි. දේශසීමාවේදී එකිනෙකා හමුවී අතටඅත දීමෙන් පසු, දේශසීමාව හරහා උතුරු කොරියාවට අයත් භූමියට පැමිණෙන්නැයි නායක කිම් ජොන් උන්, ට්‍රම්ප්ට ඇරැයුම් කළේය.
ඒ අනුව, කිම් ජොන් උන් ද සමඟ ජනපති ට්‍රම්ප් උතුරු කොරියාවට පය තැබුවේය.

ඇමෙරිකන් ජනාධිපතිවරයකු උතුරු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව මෙයයි. ‘මේ විදියට ඇමෙරිකන් ජනපතිවරයා හමුවන්න ලැබේවි යැයි මම සිතුවේ නැහැ’ යැයි උතුරු කොරියා නායකයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් දේශසීමාවට ගොස් සිටියේ, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ද සමඟය. සාම ගම්මානයේ දී කිම් ජොන් උන්ට අතට අත දී ඔහු පිළිගැනීමට දකුණු කොරියා ජනපතිවරයා කටයුතු කළේය.
‘ජී20’ සමුළුව පැවැත් වූයේ ජපානයේ ඔසාකා නුවරය.

එහිදී ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සමඟත් උතුරු කොරියා අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීය. සමුළුව අවසන් වී, ජනපති ට්‍රම්ප් දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේ දකුණු කොරියා ජනාධිපතිවරයා සමඟය.
උතුරු කොරියා නායකයා හමුවීමට ජනපති ට්‍රම්ප් කැමැත්ත පළ කළේ ඒ අනුවය. ඒ බව දැනුම් දුන් සැණින් උතුරු කොරියාව ද ඊට කැමැත්ත පළ කළේය.

සාම මාවතකට පිවිස සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික අවිහරණය කටයුතු ආරම්භ කර ඇත. කෙසේ නමුත් එම කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව සෑහීමකට පත් නොවිණි.

පසුගිය පෙබරවාරියේ ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර දෙවැනි හමුව වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්විණි. එහිදී උතුරු කොරියාව ඉල්ලා සිටියේ, තමන් න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇති බැවින්, ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ලිහිල් කරන ලෙසය. ඊට ඇමෙරිකා ජනපති ට්‍රම්ප් එකඟ නොවිණි. ඒ අනුව, හැනොයි හමුව අසාර්ථක විය.

හමුව අසාර්ථක වී, සාකච්ඡා බිඳ වැටුණ ද තමන් පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණ කටයුතු දිගටම කරගෙන යන බවත් දිගු දුර මිසයිල වැඩසටහන නවතා දැමූ බවත් උතුරු කොරියාව එම අවස්ථාවේදී කියා සිටියේය. මෙම අවස්ථාවට ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාත් ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ද එක් වී සිටියහ. මොවුන් දෙදෙනා ට්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරති.

අද දකුණු කොරියාවේ වේලාවෙන් සවස 3.45 ට පැවැති හමුවේදී මත ගැටුම් පසෙකලා සාකච්ඡා පවත්වමින් හොඳහිත වර්ධනය කර ගැනීමටත්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කර ගැනීමටත් සාකච්ඡා පැවැත්විණි.

තමන් ට්විටර් පණිවුඩයක් හරහා හමුවන්න කැමැතිබව දැන්වූ අවස්ථාවේදී, කිම් ජොන් උන් එම ආරාධනාව පිළිගැනීමත්, තමා හමුවන්න පැමිණීමත් ගැන තමන් සතුටට පත්වන බව ද ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
ට්‍රම්ප් සහ තමන් තෙවැනිවරට හමුවන්න සැලැස්වීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් ට ස්තුති කළේය. දකුණු කොරියා මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙන් උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර යහපත් සබඳතා පවතී.

(රොයිටර්ස්)


RECOMMEND POSTS