කොන්සවටිව් පක්ෂයට විශිෂ්ට ජයක්



බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප‍්‍රමුඛ කොන්සවටිව් පක්ෂය සමත් විය.

මැතිවරණය පැවැත්වූයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650 ක් වෙනුවෙනි. බහුතර බලය සඳහා ආසන 326 ක් දිනා ගත යුතු විය. කොන්සවටිව් පක්ෂය පහසුවෙන් ආසන 350 කට වඩා දිනා ගත්තේය.

කොන්සවටිව් පක්ෂය ආසන 350 සීමාව පසු කරද්දී, විපක්ෂ නායක ජෙරමි කොර්බින් ප‍්‍රමුඛ කම්කරු පක්ෂයට හිමිවී තිබුණේ ආසන 202 ක් පමණි.

1987 වසරෙන් පසු කොන්සවටිව් පක්ෂය ලැබූ විශිෂ්ටතම ජයග‍්‍රහණය මෙය බවත්, 1935 වසරෙන් පසු කම්කරු පක්ෂය ලැබූ දරුණුතම පරාජය මෙය බවත් පැවැසෙයි.

මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වී, කොන්සවටිව් පක්ෂය ජය තහවුරු කර ගන්නා බව පෙනී යද්දී, විපක්ෂ නායක ජෙරමි කොර්බින් පරාජය භාර ගත්තේය. කොර්බින් කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට ද නියමිත යැයි බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කළේය.

මහා බි‍්‍රතාන්‍යය යනු එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයයි. මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය 12 වැනිදාය. පස් වසරක් ඇතුළත බි‍්‍රතාන්‍යයේ පැවැත්වුණු තෙවැනි මහ මැතිවරණය මෙය විය.

මැතිවරණයක් පැවැත්වීමට හේතු වූයේ අගමැති ජොන්සන් ප‍්‍රමුඛ පාලක කොන්සවටිව් පක්ෂයට, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට නොහැකිවීමය. ඉකුත් 12 වැනිදා මහ මැතිවරණය කැඳවනු ලැබුවේ ද අගමැති බොරිස් ජොන්සන් විසිනි.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කි‍්‍රයාවලිය ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හැඳින්වෙයි. බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමේ අවසන් දිනය ලබන ජනවාරි 31 වැනිදාට යෙදී ඇත. මහ මැතිවරණ ජයත් සමඟ බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය පහසුවෙන් සම්පූර්ණ කිරීමට අගමැති ජොන්සන් ප‍්‍රමුඛ කොන්සවටිව් පක්ෂයට හැකිවනු ඇති බව පැවැසෙයි.

මහා බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකත්වය හිමිවන තැනැත්තාටය. 55 හැවිරිදි ජොන්සන් පක්ෂ නායකත්වයට පත්වූයේ පසුගිය ජූලි මාසයේ කොන්සවටිව් පක්ෂය අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමේදීය.

පසුගිය මාස හතර පුරාවට බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සම්පූර්ණ කිරීමට අගමැති ජොන්සන් ඉදිරිපත් කළ යෝජනා පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නොහැකි විය. ඒ, විපක්ෂ කම්කරු පක්ෂයෙන් පමණක් නොව, කොන්සවටිව් පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන්ගෙන් ද විරෝධයක් පළ වූ නිසාය.

අගමැති ජොන්සන් උත්සාහ ගත්තේ පොදු එකඟතාවක් ඇතිව හෝ නැතිව මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමටය. කෙසේ නමුත් එකඟතාවක් සමඟ යුරෝපා සංගමයෙන් ඉවත්වීම බි‍්‍රතාන්‍යයට වාසියක් බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

බ්‍රෙක්සිට් කි‍්‍රයාලිය පමණක් නොව, මෙම මහ මැතිවරණයේ ජයග‍්‍රහණය තීරණය කිරීමේදී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ගැටලූ, විදෙස් ප‍්‍රතිපත්ති සහ පරිසරය සුරැුකීම සම්බන්ධයෙන් පවතින ගැටලූ ප‍්‍රධාන සාධක වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට අගමැති බොරිස් ජොන්සන් ප‍්‍රමුඛ කොන්සවටිව් පක්ෂය සමත් විය.

බී.බී.සී.


RECOMMEND POSTS