කැනඩා අගමැති ගුජරාඨයේ



සත් දින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, බිරිය ග්‍රෙගොරි සහ දරු තිදෙනා ගුජරාට ප්‍රාන්තයේ සංචාරයක නියැලුණාහ.

කැනඩා අගමැතිවරයා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේ විශේෂ ගුවන් යානයකිනි. ඒ, පසුගිය සෙනසුරාදා සවසය. ඉරිදා (18) දිනයේ ඔවුහු ටාජ් මහල නැරැඹීමට පවා ගියහ. අගමැති ටෘඩෝ සහ පවුලේ සාමාජිකයෝ ගුජරාටය බලා ගියේ ද කැනඩා ගුවන් සේවයට අයත් ඔවුන්ගේ විශේෂ ගුවන් යානයෙනි.

කෙසේ නමුත් එම ගමනට ඉන්දීය අගමැති මෝදි සහභාගී වූයේ නැත. පසුගිය කාලයේ ඉන්දියාවේ නිල සංචාර සඳහා පැමිණි ජපාන අගමැති ෂෙන්සෝ අබේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු, චීන ජනාධිපති ෂී ජින්පින් ආදී සැවොම ගුජරාටයේ සංචාරය කළ අතර අගමැති මෝදි ද ඔවුන්ට එක් විය. ගුජරාටය යනු මෝදිගේ ගම් පළාතය. ටෘඩෝ සහ අගමැති මෝදි හමුව ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතය.

ගුජරාටයේ අහ්මෙදාබාද් නුවරට කැනඩා අගමැති ටෘඩෝ, බිරිය, පුතුන් දෙදෙනා සහ දියණිය ගියේ ඉන්දියානු ඇඳුම්වලින් සැරැසෙමිනි. ගුජරාට ප්‍රාන්ත බලධාරීන්ගෙන් ඔවුන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ගාන්ධි ආශ්‍රමයට නැරැඹීමට ද අගමැතිවරයා සහ පවුලේ සාමාජිකයෝ අමතක නොකළාහ. ගුජරාටයේ සංවර්ධන කටයුතු සිදුවන අයුරු ද කැනඩා අගමැතිවරයාට දකින්න ලැබුණැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS