කාටූන් හදන විද්‍යාඥවරිය



නාසා විද්‍යාඥවරියක වන ආචාර්ය ඒමි මෙයින්සර්ට අලූත් මෙහෙයුමකට අත ගසා සිටී. ඇය සූදානම් වන්නේ අභ්‍යවකාශයට යෑමට නොවෙයි. දිනෙක එසේ කිරීමට ඇය සමත් වනු ඇති නමුත්, අද ඇයගේ අලූත් මෙහෙයුම වී ඇත්තේ ලොව පුරා පොඩිත්තන්ට, කාටූන් කතා මාලාවක් හරහා විද්‍යාව සරලව ඉගැන්වීමය.

එම කාටූන් කතා මාලාව පී.බී.එස්. සමාගම විසින් නිර්මාණය කරනු ලැබ ඇති අතර අද එය ලොව පුරා පොඩිත්තන් පමණක් නොව වැඩිහිටියන් අතරේ ද අතිශය ජනපි‍්‍රයය. ‘රෙඞී ජෙට් ගෝ’ එම කතා මාලාවය.  මෙම කතාමාලාව පොඩිත්තකන්ට ඉදිරිපත් කරන්නේ පමණක් නොව, එය නිර්මාණය සඳහා උපදෙස් ලබා දීම කරන්නේ ආචාර්ය එමීය. විද්‍යාව, තාක්ෂණය පමණක් නොව අභ්‍යවකාශය ආදී මාතෘකා තේමා කර ගනිමින් ‘රෙඞී ජෙට් ගෝ’ කතාමාලාව නිර්මාණය වී තිබේ.

‘විද්‍යා තාක්ෂණික කටයුතු සහ ඉන්ජිනේරු කටයුතු සඳහා කෙනකු යොමු වන්නේ කුඩා කාලයේදීමයි. අවුරුදු 10 ත් 12 ත් අතරේ පොඩිත්තන්ගේ සිහින සැබෑ කර ගන්න නම් ඒ සඳහා මඟ පෙන්වීමක් කළ යුතු වෙනවා. අනාගතයේ ලෙවට වැඩදායී පිරිසක් බිහිකරන්න හැකියාව ලැබෙනවා’ යැයි ආචාර්ය ඒමී පෙන්වා දෙයි.

ඒමි මෙයින්සර් යනු අද ලොව සිටින සුරූපී විද්‍යාඥවරියකි. ඒමි උපත ලැබුවේ 1974 ජනවාරි දෙවැනිදාය. ඇය ඇමෙරිකාවේ කැපී පෙනෙන තාරකා භෞතික විද්‍යාඥවරියකි. නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින ඒමි, ‘වයිඞ් ෆීල්ඞ් ඉන්ෆාරෙඞ් සර්වේ එක්ස්ප්ලෝරර්’ සමාගමේ නියෝජ්‍ය ව්‍යාපෘති නිලධාරිනිය ලෙස ද කටයුතු කරයි.

අධෝරක්ත කිරණ ආධාරයෙන් විශ්වය ගවේෂණය කිරීමත් පෘථිවිය අසලින් යන ග‍්‍රහක හඳුනා ගැනීමත් කරන්නේ ඒමි මෙයින්සර්ය. එපමණක් නොව, කුඩා ග‍්‍රහ වස්තූන් ගැන නිරන්තරයෙන් අවදානයෙන් සිටින තාරකා විද්‍යාඥවරියක ලෙස ද ඒමි ප‍්‍රසිද්ධියට පත් වී සිටී. ඇයගේ නමින් ග‍්‍රහකයක් ද නම් කර ඇත. ඒ, ‘234750 ඒමිමෙයින්සර්’ ග‍්‍රහකයයි.

හිස්ටි‍්‍ර නාළිකාව නිෂ්පාදනය කළ ‘යුනිවර්ස්’ නමැති විශ්වය සම්බන්ධ වාර්තා වැඩසටහන් මාලාවට ද ඇය සම්බන්ධ වූවාය. එපමණක් නොව, අතිශය ජනපි‍්‍රය ස්ටාර් ටෙ‍්‍රක් රූපවාහිනී කතාමාලාවට උපදේශකවරියක ලෙස ඇය සම්බන්ධ වූ බව ද පැවැසෙයි.

විකිපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS