කටාර් අර්බුදයට ප්‍රංශය අතපොවයි



කටාර් අර්බුදයට මැදිහත් වී, ඊට සාධාරණ විසඳුමක් සෙවීමේ අරමුණින්, ප්‍රංශ විදේශ ඇමැතිවරයා දෝහා බලා පැමිණ සිටී.

ප්‍රංශය පවසා ඇත්තේ දිනේන දින ඔඩුදුවන කටාර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් මැදහත්කරුවකු වීමට සූදානම් බවය. දෝහා පැමිණි ප්‍රංශ විදේශ ඇමැතිවරයා උණුසුම් ලෙස පිළිගැනීමට කටාර් බලධාරීහු පියවර ගත්හ.

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල්, කටාරයට සම්බාධක පැනැවීම වැරැදි සහගත ක්‍රියාවක් යැයි පෙන්වා දෙමින්, එම සම්බාධක වහා ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ප්‍රංශ විදේශ ඇමැතිවරයා කියා සිටියේය. බොහෝ බටහිර රටවල් මෙන්ම ප්‍රංශයේ ද අදහස වී ඇත්තේ, කටාරයට සම්බාධක පැනැවීම අසාධාරණ බවය.

ප්‍රංශ විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් සමඟ එක් වී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

කටාරය ත්‍රස්තවාදයට සහ අන්තවාදයට අනුග්‍රහය දක්වනවා යැයි චෝදනා කරමින්, ඊට එරෙහිව සම්බාධක පැනැවීමට කටයුතු කළේ සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුවය.

මෙම රටවල් පසුගිය ජූනි මාසයේ පටන් කටාර් රාජ්‍යය සමඟ සියලුම සබඳතා නවතා දමා ඇත. සම්බාධක ඉවත් කිරීමට නම්, තම කොන්දේසි 13 ට එකඟවිය යුතු යැයි සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඊජිප්තුව කටාර් රාජ්‍යයට පවසා ඇති අතර, කොන්දේසිවලට එකඟවීම කටාරය ප්‍රතික්ෂේප කර තිබේ. කටාර් රාජ්‍යය පවසන්නේ, එම කොන්දේසි 13 ‘යථාර්ථවාදී’ නොවන බව කටාරය පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS