කටාරයෙන් ඔක්සිජන් සිලින්ඩර් සහ ඔක්සිමීටර්



කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ ඔක්සිජන් සිලින්ඩර 150 ක් සහ ස්පන්දන ඔක්සිමීටර් පළමු තොගය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

ලංකාව තුල මේවනවිට පවතින කොවිඩ්-19 වයිරස  ආසාදන හා මරණ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යාම සහ වඩාත් අසාධ්‍ය රෝගීන් සඳහා පවතින වෛද්‍ය උපකරණ හිඟය ගැන ශ්‍රී ලංකාවේ තානාපති එම්. මෆාස් මොහිදීන් මහතා  කරන ලද හදිසි ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස, මෙම පරිත්‍යාගය විදේශික ශ්‍රී ලාංකික ප්‍රජාව, හිතවතුන් සහ දෝහා හි ලුලු ජාත්‍යන්තර සමූහය විසින් ලබා දී ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි මෙම භාණ්ඩ තොගය ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ප්‍රවාහනය කළ අතර මෙම සෞඛ්‍ය උපකරණ ලබා දුන් පරිත්‍යාගශීලීන්ට තානාපති කාර්යාලය සිය අවංක කෘතඥතාව පළ කර සිටී.
 
මෙම ඔක්සිජන් සිලින්ඩර සහ ස්පන්දන ඔක්සිමීටර තොගය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට භාර දී ඇති අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ රෝහල් අතර බෙදා හැරීමට අපේක්ෂා කෙරේ.

මෙම තීරණාත්මක කාලය තුළ දී කටාරයේ ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට වෛද්‍ය උපකරණ සැපයීම සඳහා අඛණ්ඩව පහසුකම් සපයන බවද ඒම තානාපති කාර්යාලය කියා සිටී.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS