එන්නත මුලින්ම ලබාගත් අත්තම්මා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි පළමු වෙඩි මුරය පසුගිය 8 වැනිදා පත්තු විය. ඒ, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවූ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි එන්නත, ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ හදිසි තත්ත්වයක් සේ සලකා, මහා බ්‍රිතාන්‍යයේ වැසියන්ට ලබා දීමත් සමඟය.

ඒ අනුව, මහා බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ විය. මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානිය ලෙස හැ‍ඳින්වෙන්නේ එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයයි.

පළමු අදියර යටතේ පසුගිය 8 වැනිදා එන්නත් ලබා දීම සිදුවූයේ අවුරුදු 85 ට වැඩි වැඩිහිටියන්ට, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන්ටය. එයින් ද පළමුවෙන්ම එන්නත් හිමිවූයේ ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයේ වැඩිම අවදානමක් පවතින වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කර ගනිමිනි. ඒ අනුව, පසුගිය 8 වැනිදා, බ්‍රිතාන්‍යයේ වේලාවෙන් 6.30 ට, පළමු එන්නත ලබා දීම සිදු කළේ 90 හැවිරිදි අත්තම්මා කෙනකුටය. ඇය එංගලන්තයේ කොන්වර්ටි නුවර පදිංචිකාරියක වන මාග්‍රට් කීනන් නැමැත්තියයි. මාග්‍රට් කීනන්ගේ 91 වැනි උපන්දිනය එලැඹෙන සතියට යෙදී ඇති අතර, එන්නත ලබා ගැනීමෙන් පසු ඇය කියා සිටියේ, තමන්ට කල්වේලා ඇතිව උපන්දින තෑග්ගක් හිමිවුණු බවය. මාග්‍රට් කීනන් දියණියක සහ පුතකුගේ මවක මෙන්ම මුණුබුරු මිණිබිරියන් සිවු දෙනකුගේ අත්තම්මා කෙනකි. මාග්‍රට් ස්වර්ණාභරණ වෙළෙ‍ඳසැලක සහායිකාවක ලෙස රැකියාව කළ තැනැන්තියකි. ඇය විශ්‍රාම ගොස් ඇත්තේ ද මීට වසර කිහිපයකට පෙරය. මාග්‍රට් පසුගිය මාර්තුවේ සිට නිවසේ හුදෙකලාව රැදී සිට ඇත්තේ සෞඛ්‍ය උපදෙස් පිළිබඳිමින්ය. ඇයට දියණිය, පුතා හෝ මුණුබුරු මිණිබිරියන් අසලට යෑමට හෝ අවස්ථාවක් ලැබී නැතැයි පැවැසිණි.

මාග්‍රට් කීනන්ට එන්නත ලබා දෙන අවස්ථාව ලොවට වාර්තා කිරීමට බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීහු කැමරා අවටා ගනිමින් ඇය වටා රොක් වී සිටියහ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මාග්‍රට් කියා සිටියේ එන්නත ලබාගත් පළමු තැනැත්තිය ලෙස දැන් තමන් ලෝක ප්‍රසිද්ධ වනු ඇති බවය. මාග්‍රට් පැවැසූ ආකාරයට එය එසේ සිදුවිය. ඇයට එන්නත ලබා දීමේ පුවත, ලොව ප්‍රමුඛ පුවත බවට පත්විය. දෙස් විදෙස් පුවත්පත්වල මාග්‍රට් එන්නත ලබා ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පළවිය. මාග්‍රට් කීනන්ට එන්නත ලබා දීම සිදුවූයේ කොන්වර්ටි විශ්ව විද්‍යාල රෝහලේදීය.

එන්නත ලබා ගැනීමෙන් පසු එහි සිටි සියලු දෙනා සමඟ එක් වී මාග්‍රට් සමාජ දුරස්ථභාවය ද රැක ගනිමින් උණු තේ කෝප්පයක් රස බැලුවාය‍. අනෙක් එන්නත් සේම, ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම් එක් වී නිපදවා ඇති එන්නත මගින් ද සිදුවන්නේ ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය වීමය. එන්නත මාත්‍රා දෙකකින් සමන්විත වන අතර, දෙවැනි මාත්‍රාව සති කීපයකට පසුව ලබා දීමට නියමිතය. ප්‍රතිශක්තිය වර්ධනය වන්නේ එවිටය. එන්නත ලබා ගන්නා බ්‍රිතාන්‍ය වැසියන් වෙනුවෙන් විශේෂිත ඩිජිටල් හැඳුනුම්පතක් ද ලබා දීම සිදුවිය.

මාග්‍රට්ගෙන් පසු දෙවැනියට එන්නත ලබාගත්තේ විලියම් ශේක්ස්පියර්ය. නැහැ. ඔහු මහා කවි විලියම් ශේක්ස්පියර් නොවෙයි. ඒ නම ඇති වෙනත් බ්‍රිතාන්‍ය වැසියෙකි. මෙම ශේක්ස්පියර් 81 හැවිරිදි විශ්‍රාමිකයකු වන අතර, මොහු ජීවත් වන්නේ එංගලන්තයේ පිටිසරබද වෝවික්ෂයර් පළාතේය. මාග්‍රට් කීනන් මෙන් නොව, එන්නත ලබා ගත් ශේක්ස්පියර් එය එතරම් වැදගත් දෙයක් යැයි පැවැසුවේ නැත. මාග්‍රට් සහ විලියම් ශේක්ස්පියර්ගෙන් පසු, පසුගිය 8 වැනිදා තවත් දිනයේ තවත් 500 දෙනකුට එන්නත් ලබා දීම සිදුවිය. ඒ වෙනුවෙන්, මහා බ්‍රිතාන්‍යය පුරා රෝහල් 50 ක් සූදානම් කර තිබුණු අතර, එන්නත් ලබා දෙන්නේ කාටදැයි තීරණය කරනු ලැබ තිබුණේ බ්‍රිතාන්‍යය රජය විසිනි. එන්නත් ලබා දීම නොමිලේ සිදුවිය. පළමු අදියර යටතේ එන්නත් මාත්‍රා 8,000 ක් ලබා දීම සිදුවිය.

මහා බ්‍රිතාන්‍යයේ එන්නත් ලබා දීමේ ඒ දැවැන්ත මෙහෙයුම බාරව සිටින්නේ කේට් බින්හැම්ය. ඇය මාධ්‍ය හමුවේ පැවැසුවේ, 2021 වසරේ දී මහා බ්‍රිතාන්‍යය ‘කොවිඩ් 19’ වයිරසයෙන් තොර රටක් බවට පත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය. එන්නත් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් (සෞඛ්‍ය ඇමැති) මැට් හැන්කොක් ‘ගුඩ් මෝනින් බ්‍රිටන්’ පුවත් සේවය සමඟ සජීවීව එක්වෙමින් එන්නත් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කළේය. එම අවස්ථාවේදී මාග්‍රට් කීනන් අත්තම්මා එන්නත ලබා ගත් අවස්ථාව සිහිපත් වීමෙන් සෞඛ්‍ය ලේකම්වරයා ක‍ඳුළු සැලුවේය. මහා බ්‍රිතාන්‍යයේ වැඩිහිටි ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට, බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය, ලොකු වෙනසක් ඇති කරාවි යැයි තමන් විශ්වාස කරන බවත්, එම තීරණය සම්බන්ධයෙන් තමන් ආඩම්බර වෙන බවත් හෙතෙම පැවැසුවේය.

වේල්සයේ පළමුවෙන් එන්නත ලබා ගත්තේ 51 ක් හැවිරිදි සෞඛ්‍ය සේවක ඩේවිඩ් ෆෙරල් නමැත්තාය. උතුරු අයර්ලන්තයේ පළමු එන්නත ලබා ගත්තේ ජොඇනා ස්ලෝන් නමැති හෙදියයි‍.

දකුණු ලන්ඩන් නුවර රෝල්වල එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරව නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද එක් විය. බොරිස් ජොන්සන් ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී සුවය ලැබූ අයෙකි.

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි

RECOMMEND POSTS