උසස් පාසලක වෙඩි තැබීමකින් 17 ක් මරුට



ඇමෙරිකා එක්සත් ජනපදයේ, දකුණු ෆ්ලොරීඩාවේ, උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 15 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ.

වෙඩි තැබීම සිදුවූයේ පාක්ලන්ඞ් නුවර ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේය. සිසුන් 3,000 කට වැඩි පිරිසක් මෙම පාසලේ අධ්‍යාපනය ලබති. පාක්ලන්ඞ් අයත් වන්නේ බ්‍රෝවෝඞ් ප්‍රාන්තයටය. බ්‍රෝවෝඞ් ෂෙරිෆ් කාර්යාලය මාධ්‍ය හමුවේ කියා සිටියේ,  වෙඩි තැබීම සිදුකළේ 19 හැවිරිදි නිකොලාස් කෲස් නමැති ගැටවරයා කියාය.

මෙම ගැටවරයා පාක්ලන්ඞ් උසස් පාසලේ සිසුවෙකු බවත්, ඔහු පාසලෙන් නෙරපා දැමූ අයකු බවත් පසුව අනාවරණය විය.  බ්‍රෝවෝඞ් ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය පවසන පරිදි, ගිනි අවිවලින් සන්නද්ධ නිකොලාස් කෲස් පාසලට කඩා වැදී ඇත්තේ ද දෙදෙනකුට වෙඩි තබා මරා දමමිනි. ඒ පාසල නිමා වීමට ආසන්න වෙද්දීය.

ඔහු පාසල් පරිශ්‍රයට කඩා වැදීමෙන් පසු තවත් දොළොස් දෙනකු මරා දැම්මේය. දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බව ෂෙරිෆ් කාර්යාලය වැඩි දුරටත්  කියා සිටී. නිකොලාස් කෲස් දකින දකින සැමට වෙඩි තබද්දී, සිසුහු බියෙන් තැති ගෙන පංති කාමරවල සැඟවුණාහ.

වෙඩි තැබීම ගැන සැළවුණු සැණින්, පොලිසිය වහා ක්‍රියාත්මක වී පාසල් ගොඩනැගිල්ල වට කළේය. එක් පොලිස් කණ්ඩායමක් වෙඩික්කරුගෙන් බේරී සැඟවී සිටි සිසුන් පාසලෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.

අනෙක් කණ්ඩායම නිකොලාස් කෲස් සොයා ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට සමත් විය. 2012 වසරේ, කනෙනිකට් උසස් පාසලේ සිදුවුණු වෙඩි තැබීමෙන් පසු සිදුවුණු දරුණුතම වෙඩි තැබීම මෙය යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS