උප ජනපති ධුරයට නම් කළ කමලා



ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙයි. රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඞ් ට්‍රම්ප්ට අභියෝග කරමින්,  ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති සටනට එක් වී සිටින අපේක්ෂකයා 77 හැවිරිදි ජෝ බයිඩන්ය.

ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බැරැක් ඔබාමාගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ ද බයිඩන්ය. බයිඩන්, පසුගිය දා සිය සගයා එසේත් නැතිනම් උප ජනපතිවරයා නම් කළේය. උප ජනපතිවරයා තෝරා ගැනීමට බලය ඇත්තේ ජනපති ධුර අපේක්ෂකයාටය. ඒ අනුව, බයිඩන් තෝරා ගත්තේ කාන්තාවකි. කළු මෙන්ම දුඹුරු ජාතික කාන්තාවකි. නීතිවේදිනියක ලෙසත්, දේශපාලනඥයකු ලෙසත් හසල දැනුමක් ඇති කාන්තාවකි. ඇය කමලා හැරිස් ය.නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් බයිඩන් ජයග්‍රහණය කළොත්, කමලා හැරිස් උප ජනපති ධුරයට පත්වන්නේ එම ධුරයට පත්වන පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

බයිඩන්, උප ජනාධිපති ධුරය සඳහා කමලා හැරිස් නම් කිරීමෙන් පසු පසුගිය 12 වැනිදා, පළමු වරට දෙදෙනා එකම වේදිකාවක දකින්න ලැබුණි. ඒ, දෙදෙනාගේ පළමු ජනහමුවේදීය. බයිඩන්, ඔහුගේ සගයා ලෙසත් උප ජනාධිපති ධුරය සඳහාත් කමලා හැරිස් තෝරා ගත්තේ ඇයිදැයි යන්න එහිදී බොහෝ දෙනකුට වැටහුණේ ඇය කළ කතාව බොහෝ දෙනකුගේ හදවතට දැණුනු බැවිනි. කොරෝනා වයිරස වසංගතය හමුවේ අසරණ වුණු ඇමෙරිකානුවන් වෙනුවෙන් ඇය හඬ නැගුවා පමණක් නොව, හැඟීම්බරව කතා කළාය.‘ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට වයිරස වසංගතය නිසි ලෙස පාලනය කර ගන්න බැරිවුණා. ඒ නිසා අපේ (ඇමෙරිකාවේ) ආර්ථිකය කඩා වැටුණා. මහා ආර්ථික අවපාතයෙන් පසු අප මුහුණ දෙන දරුණුතම ආර්ථික කඩා වැටීම මෙයයි. එපමණක් නොවෙයි, ජනතාවට (ඇමෙරිකානුවන්ට) ජීවත් වෙන්න ඇති නිදහස වර්ගවාදය හමුවේ යටපත් වෙලා. ක්‍රමාණුකූලව, එක් පාර්ශ්වයකට අසාධාරණයක් සිදුවන්න ඉඩ දී බලා සිටීම හෘද සාක්ෂියට අනුව කරන්න බැහැ. එය සදාචාරාත්මක නැහැ. ඒ නිසයි ජනතාව ඔවුන්ගේ අරගලය වීදියට රැගෙන ගියේ.’ හැරිස් පැවැසුවේ හැඟීම්බරවය.

‘අද ඇමෙරිකාව නායකයකු ඉල්ලා හඬා වැටෙන තත්ත්වයකට වැටිලා. අපට ජනාධිපතිවරයකු සිටිනවා. ඒත් ඔහු වැඩිපුර සිතන්නේ ඔහු ගැන මිසක් ඔහු බලයට පත් කළ ජනතාව ගැන නොවෙයි.’ හැරිස් පෙන්වා දුන්නේ ට්‍රම්ප් විවේචනය කරමිනි. ජෝ බයිඩන් විසින් සිය උප ජනාධිපතිවරයා ලෙස නම් කිරීමට පෙර, කමලා හැරිස් ද තනිවම ජනපති ධුර අපේක්ෂිකාවක ලෙස ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති සටනට ඉදිරිපත් වීමට උත්සාහ කළ තැනැත්තියකි.

නොවැම්බර් තුන්වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප්ගේ සහයා සහ උප ජනාධිපතිවරයා ද වන මයික් පෙන්ස් ද ඉදිරිපත් වෙයි. පසුගිය 12 වැනිදා, බයිඩන් විසින් උප ජනාධිපති ධුරය සඳහා නම් කිරීමෙන් පසු, කමලා හැරිස් වේදිකාවට ගොඩ වුණේ මුළුමනින්ම වෙනස් ස්වරූපයකිනි. ඇය ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පමණක් නොව, සියලුම ඇමෙරිකානුවන් හමුවේ කතා කළේ ලොකු ආත්ම විශ්වාසයකින් යුක්තවය. ඒ නිසාම, ඇය යළි ධුරය අපේක්ෂා කරන ට්‍රම්ප්ට සහ මයික් පෙන්ස්ට ඇය තර්ජනයක් වී ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

කොරෝනා වසංගතය හමුවේ සාමාන්‍ය ඇමෙරිකානුවන්ට විඳින්න සිදුවුණු කටුක අත්දැකීම් සහ වේදනාව කමලා හැරිස්ට ආගන්තුක නොවෙයි. ඇය එම වේදනාව දරා ගනිමින් අදහස් දැක්වූයේ ජනපති ට්‍රම්ප් සහ උප ජනපති පෙන්ස් ට අතුල් පහර කීපයක් එල්ල කරනා ආකාරයටය.

ට්‍රම්ප් වයිරස වසංගතය අවතක්සේරු කළ බවත්, වයිරස වසංගතය ට්‍රම්ප්ට විහිළුවක් වූ බවත් පෙන්වා දෙමින් ඇය සෘජුවම ට්‍රම්ප්ට දොස් නැගුවාය. ආසාදිතයන් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කිරීම ප්‍රමාද වූ බවත්, වයිරසයට එරෙහි ජාතික වැඩපිළිවෙළක් නොතිබුණු බවත් ඇය පෙන්වා දුන්නාය. වයිරස වසංගතය හේතුවෙන් රැකියා අහිමිවුණු ඇමෙරිකානුවන් ගණන මිලියන 16 කි. ‘දරිද්‍රතාව ඉහවහා ගියා. බොහෝ දෙනකුට නිවාස අහිමි වුණා. පීඩාවට පත් වූ බොහෝ දෙනා ඇමෙරිකාවේ කළු, දුඹුරු සහ ස්වදේශීය වැසියෝ. වයිරසය ලක්ෂ ගණනින් බිලි ගන්නවා. තවමත් එහි අවසානයක් පෙනෙන්න නැහැ.මරණය හැර බොහෝ දෙනකුට වෙන විකල්පයක් තිබුණේ නැහැ. බොහෝ දෙනකුට තම තමන්ගේආදරණීයයන්ට සමු දෙන්න පවා අවස්ථාවක් පවා ලැබුණේ නැහැ.’

‘ඒත් එය එසේ විය යුතු වුණේ නැහැ.’ ඇය පැවැසුවාය. 55 හැවිරිදි කමලා හැරිස්ගේ දේශපාලන ගමන පන්නරය පිරුණු එකකි. ඇය දේශපාලනයට පිවිසියේ නීතීඥවරියක ලෙසය. ඇය කැලිෆෝනියාවේ නීතිපතිවරිය වූවාය. කැලිෆෝනියාව නියෝජනය කරන සෙනෙට් සාමාජිකයකු වූවාය. ජනපති ධුර අපේක්ෂිකාවක් වීමට උත්සහ කළාය. ඒත් දැන්කමලා හැරිස් උප ජනාධිපති ධුරය සඳහා නම් කර අවසන්ය. එලැබෙන ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයග්‍රහණය කළහොත් උප ජනාධිපති වරිය වන්නේ හැරිස් ය. වඩාත් වැදගත්ම දේ  ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වීමය.

කමලා හැරිස්ගේ චරිතය ශක්තිමත්ය. ප්‍රසංශා පමණක් නොව, නින්දා අවමන් දරා ගැනීමේ ශක්තිය ඇය සතුය. සෑම අවස්ථාවකදී ම සිනාමුසු මුහුනින් ජනතාව හමුවට යෑමට ඇය සමත් ය. දේශපාලන අපේක්ෂකයකු ලෙස තම ප්‍රතිරූපය පවත්වා ගෙන යෑමට ඇය දක්ෂය.අන් කවරදාටත් වඩා, මෙම නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණය වෙනස් ය. ඒ වෙනසට හේතුව කොරෝනා වයිරස වසංගතයයි. අවාසනාවකට කොරෝනා වසංගතයේ අංක එක වීමට ලෝක බලවතා ඇමෙරිකාව සමත් වී සිටී.පසුගිය 12 වැනිදා බයිඩන් සහ හැරිස් සහභාගී වූ ජන හමුව සැබැවින්ම ජන හමුවක් නොවිණි. ශාලාවේ සිටියේ සමාජ දුරස්ථභාවය රැකගත් අතලොස්සක් පමණි. ඔවුන්ගෙන් ද වැඩි දෙනා මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන්ය. ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සිටියේ කීප දෙනෙකි. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට වඩා පැමිණ සිටි මාධ්‍යවේදීන් ගණන වැඩිය. බයිඩන් සහ හැරිස්ගේ කතාව සජීවී අයුරින් රූපවාහිනී නාලිකාවලින් සහ වෙබ් නාලිකාවලින් විකාශය විය. එහෙයින් කමලා හැරිස්ගේ අවධානය යොමු වූයේ එහි අවටා තිබූ කැමරා කෙරෙහිය.

ජන හමුව ආරම්භයේ දී, බයිඩන් තමන් විසින් උප ජනපති ධුරය සඳහා නම් කළ කමලා හැරිස් ගැන හැඳින්වීමක් කළේය. උප ජනපති ධුරය සඳහා නම් කළ පළමු කළු ජාතික කාන්තාව කමලා හැරිස් ය. පළමු ඉන්දීය සම්භවයක් ඇති කාන්තාව කමලා හැරිස් ය. පළමු ජැමෙයිකානු සම්භවයක් ඇති කාන්තාව කමලා හැරිස් ය. කමලා හැරිස්ගේ පියා ජැමෙයිකාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකි. මව, ඉන්දියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහාය. ‘ඇමෙරිකාව ශක්තිමත් බලවත් තැනක් කිරීමට, සංක්‍රමණිකයන්ගෙන් ලැබෙන දායකත්වය හොඳින් ම දන්නා කෙනෙක් හැටියට කමලා හැරිස් හඳුන්වා දෙන්න පුළුවන්. ඇගේ කතාව ඇමෙරිකාවේ කතාවයි’ යැයි බයිඩන් පැවසුවේය.

පසුගිය වසර හතර පුරාවට ඇමෙරිකානුවන්ගේ ජීවන රටාව මහා පරිවර්තනයකට ලක් වී නොමැති බව බයිඩන් පැවැසූ අතර, කමලා හැරිස්ගේ දේශපාලන න්‍යායපත්‍රය, තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට එක්කර ගැනීමට හෙතෙම උත්සාහ කළේය. බයිඩන්, උප ජනපති ධුරය සඳහා කමලා හැරිස් නම් කළ අවස්ථාවේ, කමලා හැරිස් ‘නපුරියක’ යැයි ට්‍රම්ප් පැවැසීය. ‘කමලා හැරිස්ගේ නම ඇසූ පමණින් ට්‍රම්ප් බයවෙලා’ යැයි ට්‍රම්ප්ගේ විවේචනවලට බයිඩන් පිළිතුරු දුන්නේය.‘ශක්තිමත් කාන්තාවකගෙන් ට්‍රම්ප්ට අභියෝගයක් එල්ල වෙනවා. ඔහු කලබලවීම පුදුමයක් නොවෙයි. ඉදිරියේ දී තව අපූරු දේවල් දකින්න ලැබේවි’ බයිඩන් පැහැදිලි කළේය. ‘වැඩ කරන ජනතාවගේ ආරක්ෂාව සහ ආශිර්වාදය කමලා හැරිස්ට හිමිවිය යුතු යැයි ද හෙතෙම පැවැසීය. ‘කමලා හැරිස් ඔබ වෙනුවෙන් පෙනී සිටියා. දැන් අප ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. මේ දේශපාලන ගමනට ඇය මා සමඟ එක් වෙනවා. අප සැවොම ඇය සමඟ එක් වී ඇයට ශක්තියක් විය යුතුයි’

මාධ්‍යවේදී එරික් බෝලින්ගේ ‘ඇමෙරිකා දිස් වීක්’ වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, ට්‍රම්ප් කියා සිටියේ හැරිස්ට කැමැත්තක් දක්වන අය නොමැති බවය. ට්‍රම්ප් ඇය විවේචනය කළේ, 2016 ජනාධිපතිවරණයේ දී ප්‍රතිවාදී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විවේචනය කළ ආකාරයටය.‘ඇය කාගේවත් කැමැත්ත හිමි චරිතයක් නොවෙයි. ඇය ප්‍රශ්නවලට මුහුණ දෙන තැනැත්තියක් නොවෙයි. පලායන්නියක්. ඉක්මනින් ජනතාවට ඇය එපා වේවි.’ ට්‍රම්ප්, බෝලින් ට පැවැසුවේය. ඇය ජනපතිවරණ අපේක්ෂිකාවක් වෙන්න උත්සාහ කළා ඒත් ජනතා අභියෝග හමුවේ ඇය නිහඬ වුණා. දැන් බයිඩන් ඇය ඉහළට ගේන්න උත්සාහ ගන්නවා. ඇයට යම් අවධානයක් යොමු වී තිබෙන්නේ බයිඩන් නිසයි.’ ට්‍රම්ප් පෙන්වා දුන්නේය.

බයිඩන්, සිය උප ජනාධිපති තේරීම වන කමලා හැරිස් සම්බන්ධයෙන් සුබවාදීව සිතයි. ඔහු ඇය ගැන කතා කරන්නේ මහත් ගෞරවයකිනි. ‘ඇමෙරිකාවේ කළු කෙල්ලන්ට හෝ දුඹුරු කෙල්ලන්ට හෝ වැඩි අවදානයක් හිමි වන්නේ නැහැ. ඔවුනොවුන්ගේ සමාජයෙන් පවා ඔවුන්ට වැඩි පිළිගැනීමක් හිමිවන්නේ නැහැ. ඔවුන්ගේ වැදගත්කම හෝ වටිනාකම හෝ දැනෙන්නේ නැහැ. ඒත් විශ්වාසයි එය වෙනස් වේවි. කළු කෙල්ලන් දෙස දුඹුරු කෙල්ලන් දෙස අලුත් විදියකට බලන්න අවස්ථාවක් උදාවේවි.’

කවුද මේ කමලා හැරිස් ?

කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නේ කැලිෆෝනියා ජනපදයෙනි. ඇය උපන්නේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඞ්හිදී ය. ඇගේ මව ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ දකුණු ඉන්දියාවෙනි. ඇය හින්දු ජාතික කාන්තාවකි. ඇගේ පියා  ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ ජැමෙයිකාවෙනි.

මව සහ පියා දික්කසාද වීමෙන් පසු කමලා තනිවම ලොකු මහත් කළේ මව ශ්‍යාමලා ගෝපලාන් හැරිස් ය. ශ්‍යාමලා පිළිකා සම්බන්ධ පර්යේෂිකාවක පමණක් නොව, සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ද වූවාය. කමලා හැරිස් ට මායා නමින් සොහොයුරියක ද සිටී. දැන් ඇගේ වයස අවුරුදු 53 කි.කමලා සහ මායා හැදී වැඩුණේ ඉන්දීය අභාෂයත් සමඟය. කමලා පමණක් නොව මායා ද ඇගේ මව සමඟ අවස්ථා ගණනාවදී ඉන්දියාවේ සංචාරය කර තිබේ.

ඉන්දියානුවකු වුවත්, තම මව ඕක්ලන්ඞ් කළු ජාතිකයන්ගේ ජීවන රටාවට ප්‍රිය කළාය. කමලාට ද කළු ජාතිකයන්ගේ ජීවන රටාව උරුම විය. කමලා අධ්‍යාපනය ලැබුවේ හොවාඞ් විශ්ව විද්‍යාලයේය. ඇමෙරිකාවේ කළු ජාතිකයන් සඳහා වෙන්වුණු කීර්තිමත් විද්‍යාලයක් ලෙස මෙය සැලකෙයි. 2014 දී සෙනෙට් සභිකයකු වීමෙන් ද පසු කමලා හැරිස් විවාහ වූවාය. ඇගේ සැමියා ඩොග් එම්හොෆ් නමැති නීතීඥවරයාය. ඩෝග්ගේ පළමු විවාහයේ දරු දෙදෙනාට සෙනෙහෙබර සුළුමවක වීමට කමලා ට හැකිවිය.

(බීබීසී ඇසුරිනි)

ආඩම්බරකාර මාමා නැන්දා

කමලා හැරිස්ගේ මව අද ජීවතුන් අතර නැත. ඇය දකුණු ඉන්දියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ 1960 දීය. ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය සඳහා කමලා හැරිස් නම් කළ මොහොතේ පටන්, ඇමෙරිකාවේ සිට සැතපුම් දහස් ගණනක් දුරින් ඉන්දියාවේ සිටින ඇගේ මාමා සහ නැන්දා ඇය ගැන මහත් ආඩම්බරයෙන් කතා කරති.

කමලා හැරිස් උපන්නේ 1964 වසරේ කැලිෆෝනියාවේදීය. ජැමෙයිකන් ජාතික ඇමෙරිකානුවකු වන ඇගේ පියා ජෝන් හැරිස්, ආර්ථික විශේෂඥ මහාචාර්යවරයෙකි. මව ශ්‍යාම ගෝපලාන් පියයුරු පිළිකා සම්බන්ධ විශේෂඥවරියකි. කැලිෆෝනියාවේ පළමු නීතිපති ධුරයට පත් කළු ජාතිකයා කමලා හැරිස් ය. එම ධුරයට පත් පළමු කළු ජාතික කාන්තාව වන්නේ ද ඇයයි. දකුණු ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයට තේරී පත්වුණු පළමු සෙනෙට් මන්ත්‍රීවරිය වන්නේ ද ඇයයි.

‘අපේ සතුට වචනවලින් කියන්න බැහැ.’ හැරිස්ගේ මවගේ වැඩිමල් සොයුරු බාලචන්ද්‍ර ගෝපලාන් ඒ.එෆ්.පී පුවත් සේවයට පවසා ඇත. බාලචන්ද්‍ර ගෝපලාන් දකුණු ඉන්දියාවේ සිට නවදිල්ලි අගනුවරට පැමිණ පදිංචි වූ ශාස්ත්‍රඥයෙකි.

‘ඇය සමාජ සේවය වෙනුවෙන් කැපවුණු තැනැත්තියක්. මානව දයාව පිරි චරිතයක්’ යැයි ඔහු කමලා හැරිස් හඳුන්වා දෙයි. 2009 දී මවගේ මරණින් පසු කමලා යළි ඉන්දියාවට පැමිණ ඇත්තේ මවගේ අළු පා කිරීමටය.

කමලාගේ මව සහ ඇගේ පවුලේ සාමාජිකයන් දෙමළ කතා කරන දකුණු ඉන්දියානුවන් ය. ‘ඇයට දෙමළ බැහැ. ඇයට යන්තම් වචනයක් දෙකක් තේරෙනවා’ යැයි බාලචන්ද්‍ර පවසා ඇත. කමලා හැරිස් උප ජනපති ධුරය සඳහා නම් කිරීම, තමන් ඇතුළු තම පවුලේ සාමාජිකයන්ට පමණක් නොව, මුළුමහත් ඉන්දියානුවන්ට ම වැදගත් සිදුවීමක් යැයි බාලචන්ද්‍රගේ විශ්වාසයයි. ‘කමලා’ යන්නෙහි අර්ථය ‘නෙළුම්’ මල යන්නය. ‘ඉන්දියානුවෝ බොහෝ දෙනකු ලොකු ලොකු තැන්වල සිටිනවා. ඒත් දේශපාලනික වශයෙන් මෙවැනි ලොකු තැනකට යන්න වෙන කාටවත් හැකි වී නැහැ’ බාලචන්ද්‍ර පවසන්නේ ආඩම්බරයෙනි.

කමලා හැරිස්ගේ නැන්දා සරලා තවමත් ජීවත් වන්නේ තමිල්නාඩුවේ චෙන්නායි නුවරය. තම අක්කා ඇමෙරිකාවට සංක්‍රමණය වෙද්දී, සරලාගේ වයස අවුරුදු 19 කි. ඇය ද කමලා හැරිස් උප ජනපති ධුරයට තෝරා ගැනීම සම්බන්ධයෙන් බෙහෙවින් සතුටට පත් ව සිටින්නීය.
‘ඇමෙරිකාවේ ඉන්න අපේ යාළුවකු තමයි ඒ ප්‍රවෘත්තිය මුලින්ම කීවේ. එතකොට පාන්දර 4 ට විතර ඇති.’ යැයි වෛද්‍යවරියක ද වන සරලා ගෝපලාන් සී.එන්.එන්. පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.

‘කමලා හැරිස් කියන්නේ ඇගේ ආගිය මුලගිය තැන් දන්නා කෙනෙක්. ඇගේ පවුලේ සාමාජිකයන් කවුරුන්ද ඇය දන්නවා. පවුලේ අයගේ වටිනාකම ඇය දන්නවා. ඇය මා අමතන්නේ සිත්තී කියලයි. දෙමළ බසින් අම්මාගේ නංගි අමතන්නේ එහෙමයි. කමලා වගේමයි මායා ගැනත් අප සොයා බලනවා, අක්කා (ශ්‍යාමලා) මියගිය දා පටන්.’ යැයි සරලා ගෝපලාන් පවසා ඇත්තේ ‘ඩෙකෑන් හැරොල්ඞ්’ පුවත්පතට අදහස් දක්වමිනි.

තම මව ගැන පමණක් නොව, අවස්ථා ගණනාවකදී කමලා හැරිස්, ඇගේ සීයා (මවගේ පියා) ගැන ආඩම්බරයෙන් මෙනෙහි කර තිබේ. කමලාගේ සීයා පී.වී. ගෝපලාන් ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ සමාජ ක්‍රියාකාරියකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ අයෙකි. දේශපාලනය වෙනස් විය යුතු බවත් දේශපාලනඥයන් දූෂණයට එරෙහිව නැගී සිටිය යුතු බවත් සීයා ඔහුගේ විශ්‍රාමික මිතුරන් සමඟ නිතර කතාබහ කරනවා. ඒ බව මා දැනගත්තේ මාගේ අම්මාගෙන්. මා වඩාත් ප්‍රිය කරන චරිත අතර මාගේ සීයා සිටිනවා’ යැයි කමලා හැරිස් පවසා ඇත්තේ 2009 වසරේ පැවැති පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදීය.

(ඒ.එෆ්.පී. ඇසුරිනි)


RECOMMEND POSTS