ඉහළම ගෞරව නාමය සෞදි කුමරුන්ට



පාකිස්තාන රජය එරට පුරවැසියකුට ලබාදෙන ඉහළම ගෞරව නාමය සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට පිරිනැමීමට තීරණය කර ඇත.

මොහොමද් බින් සල්මාන් කුමරු මේ වනවිට පාකිස්තානයේ නිල සංචාරයකට පැමිණ සිටී. ‘නිෂන් ඊ පාකිස්තාන්’ යන ගෞරව නාමය කුමරුන්ට පිරිනැමීම පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි අතින් සිදුවනු ඇති බව එරට පුවත් සේවා වාර්තා කළේය.

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද පාකිස්තානයේ සැබෑ මිතුරකු බවත්, පාකිස්තානය ආර්ථික වශයෙන් අර්බුදයකට ලක් වී සිටින අවස්ථාවක ‘අවංක චේතනාවෙන්’ පාකිස්තානයට සහාය දැක්වීමට කුමරුන් ඉදිරිපත් වීම අගය කළ යුතු බවත් පෙන්වා දෙමින්, පාකිස්තාන රජය මෙම ගෞරව නාමය කුමරුන්ට පිරිනැමීමට තීරණය කළේ යැයි ද වාර්තා වේ.

සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු විශේෂ දූත පිරිසක් ද සමඟ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරට පැමිණියේ  ඊයේ ය. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් කුමරුන්ට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. ගුවන්තොටුපොළේ දී අගමැති ඉම්රාන් ඛාන් කුමරුන් පිළිගත්තේ වැළඳ ගනිමිනි.

සල්මාන් කුමරුන් සහ දූත පිරිස රැගත් ගුවන් යානය ගොඩබෑවේ ඉස්ලාමාබාද් අගනුවර නූර් අල් ඛාන් හමුදා ගුවන් කඳවුරටය. සල්මාන් කුමරු සිය මෝටර් රථයේ අසුන් ගන්වා එය පදවාගෙන ගියේ ද ඉම්රාන් ඛාන් ය.

සල්මාන් කුමරු සහ අගමැති ඉම්රාන් අතරේ ඇමෙරිකන් ඩොලර් බිලියන 20 ක් වටිනා ආයෝජන ගිවිසුම්වලට පෙරේදා අත්සන් කෙරුණි. ඉන්ධන, බලශක්ති සහ පතල් කැණීම් සම්බන්ධයෙන් ද දෙරටටම වැදගත් මෙන්ම වාසිදායක ගිවිසුම්වලට ද සල්මාන් කුමරුන් සහ අගමැති ඉම්රාන් අතරේ අත්සන් තැබුණු බව වාර්තා වේ.

‘පාකිස්තානයේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කර නගා සිටිවීමට සෞදිය හැකි උපරිම අයුරින් සහාය ලබා දෙන බව පාකිස්තාන අගමැති ඉම්රාන් හමුවීමෙන් පසු, සල්මාන් කුමරු මාධ්‍ය හමුවේ කියා සිටියේය.
මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සෞදියේ සල්මාන් කුමරුන්ට චෝදනා එල්ල වී ඇත. සෞදි රජ පවුල මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. මාධ්‍යවේදියකු ලෙස ජමාල් කශොග්ජී සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේදනය කළේය. ඒ, අනුව කුමරුන්ගේ අණ පරිදි ජමාල් කශොග්ජීගේ ඝාතනය සිදුවුණු බවට චෝදනා එල්ල වී ඇත.

සල්මාන් කුමරු පාකිස්තානයට පැමිණියේ, ආසියා සංචාරයක් අතරතුරේය. පාකිස්තාන සංචාරයෙන් පසු සල්මාන් කුමරු අසල්වැසි ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බවත්, ලබන 21 සහ 22 දෙදින චීනයේ සංචාරය කිරීමට නියමිත බවත් වාර්තා වේ.

හර්ෂණ තුෂාර සිල්වා
ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS