ඉරාන පාර්ලිමේන්තුවට ප්‍රහාරයක්



ඉරාන පාර්ලිමේන්තුවට කඩා වැදුණු සන්නද්ධ පිරිසක් කළ වෙඩි තැබීම්වලින් ආරක්ෂක අංශ නිලධාරියෙක් සහ සිවිල් වැසියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අට දෙනෙක් තුවාල ලැබූහ.

‘මජ්ලිස්’ යන නමින් හැඳින්වෙන ඉරාන පාර්ලිමේන්තුවට තිදෙනකු කඩා වැදුණු බවත් ඔවුන්ගෙන් එක් අයකු පිස්තෝලයකින් ද අනෙක් දෙදෙනා ඒ.කේ.47 වර්ගයේ ස්වංක්‍රීය මැෂින් තුවක්කුවලින් ද සන්නද්ධ වී සිටි බවත් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලියාස් හස්රාටි පවසා ඇත.

එම තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක බවත් ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක බවත් වාර්තා විය.
මොවුන් තිදෙනා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇත්තේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන් සමඟ වෙඩි හුවමාරු කර ගනිමිනි.

ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීම්වලින් බේරී පාර්ලිමේන්තු සභා ගැබට කඩා වැදුණු තුවක්කුකරුවෝ දොරවල් සියල්ල වසා දමා එහි සිටි මැති ඇමැතිවරුන් ප්‍රාණ ඇපයට ගත්හ.

සිද්ධිය සැලවුණු සැණින් ඉරාන හමුදාව සහ තෙහෙරාන් පොලිසිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වට කළ බවත් ඒ සමඟ තුවක්කුකරුවන් පාර්ලිමේන් ගොඩනැගිල්ලේ කොටුවුණු බවත් වාර්තා වේ.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ප්‍රහාරය එල්ල වෙද්දී, ඉරාන උත්තරීතර නායකු වන අයතොල්ලා රුහොල්ලා කොමේනීගේ සමාධියට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

1979 වසරේ ඉරාන විප්ලවය මෙහෙය වූ ඉරාන උත්තරීතර නායකයා වන්නේ ෂියා මුස්ලිම් ආගමික නායක අයතොල්ලා රුහොල්ලා කොමේනීය.

1989 වසරේ ජූනි 3 වැනිදා අභාවප්‍රාප්ත වුණු අයතොල්ලා කොමේනීගේ දේහය 1989 වසරේ ජූනි 6 වැනිදා විශේෂ සමාධියක් ඉදිකර තැම්පත් කෙරුණි.

කොමේනිගේ සමාධිය පිහිටා ඇත්තේ තෙහෙරාන් අගනුවර දකුණු දෙසින් ඉරාන පාර්ලිමේන්තුවේ සිට කිලෝ මීටර් 20 ක දුරිනි.

සමාධියට කඩා වැදී ඇත්තේ ද මරාගෙන මැරෙන බෝම්බකරුවෙකි. ඔහු සමාධියට කඩා වැදුණු අවස්ථාවේදී වෙඩි තැබීම් කර ඇති අතර එයින් සමාධියේ උද්‍යානය බලා ගන්නා සේවකයෙක් ජීවිතක්ෂයට පත් විය. වෙඩි තැබීම්වලින් පස් දෙනෙක් තුවාල ලැබූහ. ඉන්පසු බෝම්බකරු බෝම්බය පුපුරුවා ගත්තේ සමාධියට හානි කිරීමේ අරමුණින් යැයි ද පැවැසෙයි.

ප්‍රහාරය සිදු කළ පිරිස කවුරුන් ද යන්න හෝ ඔවුන්ගේ අරමුණ කුමක් ද යන්න හෝ මෙතෙක් අනාවරණය වී නැත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS