ඉරාන ජනපතිවරණය අද



ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානයේ අද (19) ජනාධිපතිවරණය පැවත්වෙයි. ඒ, එරට 12 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහාය.

ජනපතිවරණයට සමගාමීව පළාත් පාලන මැතිවරණයක් ද පැවැත්වෙනු ඇතැයි ඉරාන මැතිවරණ බලධාරීහු පෙන්වා දෙති. ජනපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියේත් හමුදාවේත් ලක්ෂ 3 ක නිලධාරීන් පිරිසක් යොදවන බව ඉරාන ආරක්ෂක කටයුතු බාර බි්‍රගේඩියර් හොසෙන් අෂ්තාරී පවසා ඇත.

අද පැවැත්වෙන ඉරාන ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ අපේක්ෂකයන් 5 දෙනකු පමණි.

තෙහෙරාන් අගනුවර පුරපතිවරයා මෙන්ම හිටපු පොලිස්පතිවරයා ද වුණු මොහොම්මද් බග්හර් ද ජනපතිධුර අපේක්ෂකයකු ලෙස සුදුසුකම් ලැබ සිටියේය.

කෙසේ නමුත් පසුගිය 15 වැනිදා ඔහු ජනපතිවරණ සටනින් ඉවත් වීමට තීරණය කළේය. එය ඔහුගේ ආධාරකරුවන්ගේ මවිතයට හේතුවක් වුණැයි ඉරාන පුවත් සේවා පෙන්වා දී තිබුණි.

ජනපතිවරණයට ඉදිරිපත් වන පස්දෙනා අතර, වත්මන් ජනාධිපති හසන් රොව්හානි ද සිටී. යළි ජනපති වීමට උත්සාහ ගන්නා රොව්හානී, මධ්‍යස්ථ මතධාරියකු පමණක් නොව, ආගමික නායකයකු ද වෙයි.

ඉරානයේ උප ජනපති ධුරය හොබවන එෂාක් ජහන්ගිරි ද ඡන්ද සටනට එක් වී සිටී. මොහු රොව්හානීගේ විශ්වාසවන්ත සගයෙකි. ජහන්ගිරි ද මධ්‍යස්ථමතධාරියෙකි.

අද පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම පසුගිය අප්‍රේල් මාසයේ දී සිදුවිය. ඉරානයේ හිටපු ජනපතිවරයකු වන මොහොමද් අහමදිනෙජාද් ද එසේ ලියා පදිංචි වූ අපේක්ෂකයන් අතර සිටියේය. එය ද කාගේත් මවිතයට හේතුවක් වුණැයි ඉරාන පුවත් සේවා වාර්තා කර තිබුණි.

අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම සිදු කළේ ඉරාන මැතිවරණය බලධාරීන් සහ එරට ‘භාරකාර මණ්ඩලය’ මගිනි. අප්‍රේල් 13 වැනිදා ඇරැඹි එම ලියාපදිංචි කටයුතු අප්‍රේල් 15 වැනිදා නිමාවට පත් විය.

ලියාපදිංචි වන අපේක්ෂකයන් අතරින් සුදුස්සන් තෝරා ගැනීම ‘භාරකාර මණ්ඩලය’ විසින් සිදු කරනු ලැබීය. 1,600 දෙනෙක් ඉල්ලුම්පත් යොමු කර තිබුණු අතර අවසානයේ අට දෙනකු පමණක් තෝරා ගැනුණි. හිටපු ජනාධිපති මොහොමද් අහමදිනෙජාද්ට ද යළි ජනපති ධුරයට සඳහා ඉල්ලීමට ඉඩ නොලැබුණි.

ඉරානයේ ජනාධිපතිවරයකු සිටයත්, ඔහුට ද ඉහළින් සිටින්නේ ඉරාන ආධ්‍යාත්මික නායකයාය. එම උත්තරීතර තනතුර හොබවන්නේ අයතුල්ලා කොමේනිය. ජාත්‍යන්තරය සමඟ සබඳතා පවත්වන්නේ ජනපතිවරයා වුවත්, ඔහු ගන්නා තීන්දු සහ තීරණ උත්තරීතර නායකයාගේ අනුමැතිය අනුව ක්‍රියාත්මක වෙයි.

ඉරාන ‘භාරකාර මණ්ඩලය’ මගින් ජනපතිධුරයට තෝරා ගන්නා අපේක්ෂකයන්ට ද උත්තරීතර නායකයා අල් කොමේනිගේ අනුමැතිය හිමිවෙයි. අවසන් වටයට 6 දෙනකු තෝරා ගැනීම සිදුවූයේ ඒ අනුවය. ඔවුහු සය දෙනා පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට මැයි 17 තෙක් දින 20 ක කාලයක් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් මැතිවරණ රැළි පැවැත්වීම සිදු කළහ. රූපවාහිනී විවාදවලට පවා සහභාගී වූහ. ජනපතිවරණය පැවැත්වෙන දිනට පෙර දින එනම් ඊයේ දිනයේ ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් විය.

ජනපතිවරණයට ඉදිරිපත් වන සෙසු අපේක්ෂකයන් තිදෙනා වන්නේ මොස්තාෆා මිර්සාලිම්, එබ්‍රහිම් රයිසී සහ මොස්තාෆා හෂෙම්ටාබා ය. මොස්තාෆා මිර්සාලිම් කොන්සවර්ටිව් අපේක්ෂකයකු වන අතර මොහු ඉන්ජිනේරුවෙකි. ඉරාන ජාතික පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකි.

තවත් කොන්සවර්ටිව් අපේක්ෂකයකු වන එබ්‍රහිම් රයිසී, දැඩිමතධාරියෙකි. මොහු විනිසුරුවරයකි. රොව්හානි සේම ආගමික නායකයෙකි. මොස්තාෆා හෂෙම්ටාබා මධ්‍යස්ථමතධාරියෙකු වන අතර හිටපු ඇමැතිවරයෙකි.

අද ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට මේ මිලියන 55 දෙනකු සුදුසුකම් ලබා සිටින බව ද වාර්තා වේ. ඡන්ද මධ්‍යස්ථාන 65,000 ක් රට පුරා පිහිටුවනු ලැබෙන බව ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ. ඉරානයෙන් පිට රටවල් 140 ක වෙසෙන ඉරාන වැසියන් ද එම රටවල තානාපති කාර්යාල හරහා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි ඉරාන මැතිවරණ බලධාරීහු පෙන්වා දෙති.

ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වුණු සැණින් ඡන්දය ගණන් කිරීම සිදුවෙයි. ඉන්පසු ප්‍රතිඵල සියල්ල එකවර නිකුත් කෙරේ. සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න අපේක්ෂකයාට ජය හිමිවෙයි. එසේ නොවුණහොත් වැඩිම ඡන්ද ප්‍රතිශත හිමිකර ගන්නා අපේක්ෂකයන් අතරේ යළි ඡන්දයක් පැවැත්වෙයි. මෙම දෙවැනි වර ඡන්දය පැවැත්වෙනු ඇත්තේ 26 වැනිදාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS