ඇමෙරිකා සහකාර නීතිපතිනියක වූ අපේ දියණිය



කුඩා කාලයේදී නිවසේදී මෙන්ම පාසලේදීත් සෑම කටයුත්තකදීම තර්කානුකූල ක්‍රියාකිරීමට හුරුවසිටි තැනැත්තියක ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක් හිමිකර දෙමින් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට එරට මෙවන් ඉහළ රාජ්‍ය තනතුරකට මෙලෙස පත්ව ඇත්තේ මේ වනවිට  මිනසෝටා ප්‍රාන්තයෙහි පදිංචිව සිටින ගම්පහ, මාදෙල්ගමුව, බටපොත පදිංචිව සිටි නිලූෂි රණවීර නමැති  මහත්මියකි.

ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති මැය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට ඇතුලත්ව නීති උපාධිය ලබා විවාහයෙන් පසුව 2005 වසරේදී අමෙරිකාවට ගොස් ඇති අතර 2006 වසරේදී  මිනසෝටා ප්‍රාන්තයේ හැම්ලීන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් අනතුරුව මිචෙල් හැම්ලීන් නීති විද්‍යාලයෙන් 2016 වසරේදී නීතිවේදී පශ්චාත් උපාධියත් හිමිකරගෙන ඇත.

පසුව එහි රජයේ විනිසුරුවරියක්  යටතේ අපරාධ නීතිය වැඩිදුරටත් හදාරා ඇති නිලුෂි මහත්මියට ඉකුත් මස 23 වෙනි දින මිනසෝටා ප්‍රාන්තයෙහි සහකාර නීතිපති ධුරයට පත් කොට ඇති අතර හෙට (4 වැනිදා) එම ධූරයෙහි වැඩ බාර ගැනීමට නියමිතය. 

අමෙරිකාවේදී  පශ්චාත් උපාධිය ලබාගැනීමෙන් පසුව මිනියාපොල්ස්හි නාගරික පරිපාලන විශ්ලේෂකවරියක ලෙසද පසුව ශාන්ත පෝල් නගරයේ අයවැය විශ්ලේෂකවරියක ලෙසත් මැය සේවය කොට ඇත.

නිලූෂි ගෙවී ගිය කාලය පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය.

" මම එම තනතුරුවල නිරතව සිටියත් මගේ යටි හිතේ තිබුනෙම නීති ක්ෂේත්‍රයේම රැකියාවක් කිරීමයි. ඒ මුදල් උපයා ගැනීමේ අරමුණින් නම්  නොවෙයි. නඩුවකට එන කෙනෙකුගෙන් අසාධාරණ ලෙස මුදල් ලබා ගැනීමට මම කැමති නැහැ. මෙය ඒකාලෙ පටන් මා තුල තිබුනු ලක්ෂණයක්. කෙසේ වෙතත් මගේ දෛවය විසින් මේ වනවිට මගේ බලාපොරොත්තු සඵල කොට තිබෙනව. නීති ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක් ලැබීම ගැන ලොකු සතුටක් තිබෙනව. මෙයින් මිනසෝටා වැසියන්ට සේවයක් කිරීමට මට හැකි වෙනව. "

මේ වනවිට සිය සැමියා වන එරන්ද ලියනපතිරණගේ මහතා සහ අකේන් සහ ක්‍රිෂේන් යන පුතුන් දෙදෙනා සමග නිලුෂි රණවීර මහත්මිය අමෙරිකාවේ පදිංචිව  සිටිති.

දියණියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක තෙවෙනියාවු නිලූෂී මහත්මියගේ පියා වන සරත් රණවීර මහතා කම්කරු දෙපාර්තමේන්තුවෙහි ( විශ්‍රාමික) කම්කරු කොමසාරිස් වරයෙකු ලෙස සේවය කොට ඇති අතර මව ඉන්ද්‍රානි රණවීර මහත්මියද ගුරු සේවයෙහි නිරතව සිට මේ වනවිට විශ්‍රාම ලබා සිටින්නීය.

සිය බාල දියණිය අද සිටින තැන පිළිබඳව මවට සහ පියාට මෙන්ම සොයුරියන් දෙදෙනා තුල ඇත්තේ විශාල සතුටකි. දියණිය රටටත් කීර්තියක් අත්කර දීම ගැන ඉන්ද්‍රානි මහත්මිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" මමත් දරු තිදෙනාත් ඉගෙන ගත්තෙ ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන්. නිලුෂි දුව උසස් පෙළ සමත් උනේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම හතර වෙනියා වෙමින්. පසුව නීති පීඨයට ඇතුලත් උනා. දුව පොඩි කාලේ ඉඳන්ම තර්කානුකූලයි. ගෙදරදීත් , පාසලේදීත් ඕනැම දෙයක් ගැන තර්ක කරනව. අද වෙනවිට දුව මෙවැනි ධුරයකට පත්වීම ගැන සතුටට පත් වෙනව. "

තම දියණිය ගැන අදහස් දක්වමින් පියා  සරත් රණවීර මහතා මෙලෙසින් අදහස් දැක්වීය. " දරුවන් තුන්දෙනාම හරිම සරලයි. සංවේදීයි. චූටි දුව නිලුෂි, මෙහෙ විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා නීති වෘත්තීය සදහා ලියාපදිංචිවීමට ප්‍රධාන නීතිඥ වරියක් යටතේ ටික දවසක් කටයුතු කරද්දි නඩුවලට පැමිණෙන අයගෙන් මුදල් ලබාගැනීම ගැන දැකල විශාල කළකිරීමකට පත්ව සිටිය. මේ නිසා මෙයා මට කිව්වා,  මම අහිංසක අයගෙන් මුදල් ලබාගැනීමට කැමති නැහැ. මට වෙනත් රැකියාවක් සොයා දෙන්නයි කියල. මේ අනුව මෙරට ප්‍රධාන ආයතනයක මානව සම්පත් කළමනාකාර වරියක ලෙස කටයුතු කළා. පසුව විවාහවී 2005 වසරෙදි අමෙරිකාවට ගිහින් අද වනවිට ඉහළ තනතුරකට පත්ව සිටිනව. ඉතින් දරුව මෙවන් තත්ත්වයකට පත්වීම ගැන දෙමව්පියන් වශයෙන් අපි සතුටු වෙනව."

නිලුෂි රණවීර මහත්මිය,  අමෙරිකාවේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් අප පුවත් පතට අදහස් දැක්වූ අතර මෙහිදී තමන්ට මෙවන් ස්ථානයක් කරා ළඟාවීමට මග පෑදූ මව , පියා මෙන්ම විදූෂි සහ මහීෂි යන වැඩි මහල් සොයුරියන් දෙදෙනාත් තම මාමා ගුණසිරි සිල්වා මහතා  සහ නැන්දා අනෝමා ලියනපතිරණගේ මහත්මිය මෙන්ම ගම්පහ සිරි කුරුස විද්‍යාලයේ විදුහල්පතිනියකව සිටි නෙලී හෙලන් මව්තුමිය සහ තම ආත්ම විශ්වාසය ගොඩනැගූ යසෝදරා බාලිකාවේ විදුහල්පතිනියකව සිටි සද්ධා අබේසේකර මහත්මියත් ඉතා ගෞරවයෙන් සිහිපත් කර සිටින බවත් ප්‍රකාශ කළාය.  

නිලූෂි රණවීර මහත්මියගේ අනාගතයට අප පුවත් පතින්ද සුභපැතුම්. 

තිලකරත්න දිසානායක


RECOMMEND POSTS