ආර්ථික අධ්‍යයන ආයතනයෙන් සම්මාන උත්සවයක්



ඉන්දියාවේ ආර්ථික අධ්‍යයන ආයතනය විසින් "ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව" යන තේමාව යටතේ සංවිධානය කරන ලද සම්මාන ප්‍රදානෝත්සවය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් හා සංකේතාත්මකව උත්සවය ආරම්භ කිරීමෙන් අනතුරුව, විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා ආර්ථික අධ්‍යයන ආයතනයේ උපාධිධාරීන්ට සම්මාන ප්‍රදානය කළේය. නව දිල්ලි නුවර පිහිටි මෙම ආයතනය, වාර්ෂිකව ලොව පුරා විවිධ නගර තෝරාගෙන එහි ප්‍රධාන උත්සවාංග සංවිධානය කරන අතර, මෙම වසරේ උත්සවය කොළඹ දී පැවැත්වීය.

මෙම උත්සවයට සහභාගී වූ සම්භාවනීය පිරිස අතර ඉන්දියානු රජයේ තමිල්නාඩු හි සහයෝගීතා අමාත්‍ය ශ්‍රී සෙලූර් කේ. රාජු මහතා ,"මින්දනාඕ ෆ්‍රාන්ස්" හි ජාත්‍යන්තර කුමරිය ඉසබෙල් ලාෆෝග් කුමරිය, භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා අනිලා සිං මහත්මිය හා ඉන්දීය රජයේ ජාතික ජල විදුලිබල සංස්ථාවේ (NHPC) හිටපු සභාපති ශ්‍රී යෝගේන්ද්‍ර ප්‍රසාද් මහතා වීය.

මෙම ආර්ථික අධ්‍යයන ආයතනය, ඉන්දියාවේ ආර්ථිකයේ හා ආර්ථික සංවර්ධනයේ විවිධ අංශවල නූතන වැදගත්කම පිළිබඳව අධ්‍යයන කිරීමට සහ සාකච්ඡා කිරීමට ඒකරාශී වූ ආර්ථික විද්‍යාඥයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කර්මාන්තකරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් 1980 වසරේ දී ආරම්භ කරන ලද්දකි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව ව්‍යාපාරික හවුල්කාරිත්ව වැඩසටහනක් ද පැවැත්වීය.


RECOMMEND POSTS