අයිමාන් අල් සවාහිරී ඝාතනය



2011 දී මරා දැමුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සහ අල් සවාහිරී

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නිවසක සැඟවී සිටි අල් කයිඩා නායක අයිමාන් අල් සවාහිරී ඝාතනය කිරීමට ඇමෙරිකන් හමුදාව සමත් විය. සවාහිරී ඝාතනය කෙරුණේ නියමුවන් රහිත, දුරස්ථ පාලකයෙන් මෙහෙයවන ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයකිනි.

‘ඉලක්කය නිවැරදියි. අල් සවාහිරී මියගියා’ යනුවෙන් ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය පැවැසුවේය. සවාහිරී ඝාතන මෙහෙයුම සිදුවූයේ සී.අයි.ඒ. බුද්ධි අංශය යටතේය. ‘ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩාවට නායකත්වය දුන් අයිමාන් අල් සවාහිරී ඝාතනය කිරීමට සී.අයි.ඒ. බුද්ධි අංශයත් හමුදාවත් සමත් වුණු බව දෙවැනි වරටත් ‘කොවිඩ් 19’ ආසාදනය වී නිරෝධායනයේ පසුවන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැවැසුවේ මාධ්‍ය වෙත වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිණි.

1979 සිට 89  තෙක් කාලයේ, සෝවියට් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවදියේ, ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශය ‘නිල නොවන මට්ටමින්’ සෝවියට් හමුදා සමඟ සටන් වැදුණු ඇෆ්ගන් මුජහදීන්වරුට සහාය දුන්නේය. මුදල් දුන්නේය. ආයුධ ලබා දුන්නේය. ප්‍රබල සෝවියට් හමුදාවට එරෙහිව නැගී සිටි ඇෆ්ගන් සිවිල් වැසියන්ගෙන් සමන්විත මුජහදීන්වරු වීරයෝ වූහ. ‘මුජහදීන්’ යනු ඉස්ලාම් දහම වෙනුවෙන් ශුද්ධ යුද්ධයකට (ජිහාද්) සම්බන්ධ වුණු මුස්ලිම් ප්‍රජාවය. 1990 දශකයේ තලේබාන් සංවිධානය බිහිවූයේ මුජහදීන්වරුන් සහ ඇෆ්ගන් සිවිල් වැසියන්නේ එකුමු​තුවෙනි.

අල් කයිඩා නායකයා සැගවී සිටි නිවස ...

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ, බිලියනපති ව්‍යාපාරික, සෞදි පුරවැසියකු වූ මොහොමද් බින් අවාද්ගේ පුත්‍රයා ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර පැමිණි සැණින්, ඔහුගේම කියා ඉදිකිරීම් සමාගමක් පිහිටුවාගත් අතර පසුව 1979  දී සෝවියට් ආක්‍රමණය සිදුවෙද්දී ඔහු පාකිස්තානයට ගියේය. ඇමෙරිකාව ‘නිල නොවන මට්ටමින්’ ඇෆ්ගන් මුජහදීන්වරුන්ට මූල්‍ය සහාය සහ අවි ආයුධ ලබා දීම කළේ මෙම තරුණයාගේ ඉදිකිරීම් සමාගම හරහාය. මෙම තරුණයා පසුව ඇමෙරිකාවේ සතුරා මෙන්ම ලොව අංක එකේ ත්‍රස්තවාදියා ද වූ ඔසාමා බින් ලාඩන්ය. ඇමෙරිකානු සී.අයි.ඒ. ඒජන්තවරුන්ගේ පමණක් නො,. පාකිස්තන හමුදාවේත්, අයි.එස්. බුද්ධි අංශයේත් සහාය ඇෆ්ගන් මුජහදීන්වරුන්ට හිමිවුණු අතර එම කටයුතුවලදී අතරමැදියා වූයේ ද බින් ලාඩන්ය. මේ බව ඇමෙරිකාව හෝ පාකිස්තානය හෝ නිල වශයෙන් පිළිගෙන නැත.

ඔසාමා බින් ලාඩන් ‘අල් කයිඩා’ සංවිධානය පිහිටුවූයේ 1988 වසරේ දීය. සෝවියට්වරුන් ඇෆ්නිස්තානය අස්ථාවර රාජ්‍යයක් බවට පත් කරමින්, පිටවී යෑමෙන් පසු ඇෆ්ගන් වැසියන්ට දිගින් දිගටම ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් කෙණෙහෙළිකම් එල්ල වුණු අතර ‘අල් කයිඩා’ සංවිධානයේ ඉලක්කය වූයේ ඇමෙරිකාවය. ඇෆ්ගත් තලේබාන්වරුන්ගේ සහාය ‘අල් කයිඩා’ සංවිධානයට නොඅඩුව ලැබුණි. 2001 සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩා ත්‍රස්තයන්, ඇමෙරිකන් මගී ගුවන් යානා පැහැර ගනිමින් ඇමෙරිකාවට පහර දුන්නේ ඒ අනුවය. ප්‍රහාරය සඳහා අණ දුන්නේ බිල් ලාඩන්ය. ප්‍රහාරය සැලැසුම් කිරීමට බින් ලාඩන්ට සහාය දුන්නේ ඔහුගේ සගයා ලෙස කටයුතු කළ අයිමාන් අල් සවාහිරී ය.

ඇමෙරිකන් හමුදා, බින් ලාඩන් සොයා ඝාතනය කළේ 2011 දීය. ඒ වනවිට, ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමාගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඇමෙරිකන් නේවි සීල් භට භටයන්, ඔසාමා බින් ලාඩන් ඝාතනය කරද්දී, ඔහු පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් විය. පාකිස්තාන රජය, හමුදාව හෝ අයි.එස්. බුද්ධි අංශය හෝ ඒ බව දැන නොසිටි බව පැවැසෙයි. බින් ලාඩන් සොයා ඝාතනය කිරීම සිදුවූයේ ද ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයේ මැදිහත්වීමෙනි. පාකිස්තානයට නොදන්වා, පාකිස්තාන ගුවන් සීමාවට ඇතුළු වී ඇමෙරිකන් හමුදා ඔසාමා බින් ලාඩන් ඝාතන කිරීමත් සමඟ ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයි හොඳයිකම් පවා පළුදු විය.

2011 මැයි මාසයේ බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු අල් කයිඩාව, බින් ලාඩන්ගේ සගයා මෙන්ම අල් කයිඩාවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ද කටයුතු කළ අයිමාන් අල් සවාහිරී, අල් කයිඩා නායකයා පවට පත් කර ගැණුනි. ඇමෙරිකා රජය අල් සවාහිරීගේ හිසට ඇමෙරිකන් ​ඩොලර් මිලියන 25 ක මුදල් ත්‍යාගයක් ද ලබා දීමට තීරණය කර තිබුණි.  2006 දී ඇමෙරිකන් හමුදා සවාහිරී ඝාතනය කිරීමට උත්සාහ කළේය. ඒ, පාකිස්තාන ඇෆ්ගන් දේශසීමාවේ සවාහිරී සැගවී සිටි ස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කරමිණි. එම ප්‍රහාරයෙන් සවාහිරී දිවි ගලවා ගත් නමුත්, අල් කයිඩාවේ ඉහළ පෙළේ සාමාජිකයෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සති දෙකකට පසු සවාහිරී වීඩියෝ පණිවුඩයක් හරහා පෙනී සිටිමින් ඇමෙරිකාවට තර්ජනය කළේය. එදා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ය.

අල් සවාහිරී ඊජිප්තු ජාතිකයෙකි. උපත ලැබුවේ 1951 ජූනි 19 වැනිදාය. ඔහු වැදගත් මෙන්ම උගත් පවුල් පසුබිමක් ඇති අයෙකි. සවාහිරී මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් වැඩි දෙනා වෛද්‍යවරුන්ය. සවාහිරීගේ සීයා ඉමාම් රබියා, ඊජිප්තුවේ ප්‍රධාන සුන්නි මුස්ලිම් ආගමික නායකයෙකි. සවාහිරීගේ මාමා අරාබි ලීගයේ පළමු මහ ලේකම් ය. සවාහිරී දේශපාලනයට පිවිසියේ පාසල් වියේදීය. ඊජිප්තුවේ ‘මුස්ලිම් සහෝදරත්වය’ දේශපාලන පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කළ බැවින්, අවුරුදු 15 දී ඔහු අත්අඩංගුවට ගැනුණි. ‘මුස්ලිම් සහෝදරත්වය’ අද ඊජිප්තුවේ තහනම් කරනු ලැබූ අන්තවාදී ඉස්ලාමීය දේශපාලන කණ්ඩායමකි. මුස්ලිම් සහෝදරත්වයේ  නායකයන් බොහෝ දෙනකු මරා දමා තිබේ. කයිරෝ වෛද්‍ය විද්‍යාලයට ගොස් අධ්‍යාපනය ලබා වෛද්‍යවරයකු වීමට සවාහිරී ට සිය දේශපාලන කටයුතු බාධාවක් නොවිණි. 1974 වසරේ උපාධිය ලබා ගත් සවාහිරී, සිවු වසරකට පසු ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය. සවාහිරීගේ පියා මොහොම්මද් මියගියේ 1995 දීය. ඔහු ඖෂධවේදය පිළිබඳ මහාචාර්යවරයෙකි.

සවාහිරී, පවුලේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින්, කයිරෝ නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කළේය. ඊජිප්තු රජය පෙරැළීමට කුමන්ත්‍රණය කළ අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් සමඟ සවාහිරී අතරේ හිතවත්කම් ගොඩනැගෙන්න වූයේ මේ කාලයේය. 1973 දී සවාහිරී, ‘ඊජිප්තු ඉස්ලාමීය ජිහාද්’ සංවිධානයේ සාමාජිකයෙකු විය. 1981 වසරේ කයිරෝ අගනුවර හමුදා පෙළපාළියකට සම්බන්ධ වී සිටියදී ඊජිප්තු ජනාධිපති අන්වාර් සදාත් ඝාතනය කෙරුණි. එම ඝාතනයට සම්බන්ධ යැයි සැක පිට අත්අඩංගුවට ගත් පිරිස අතරේ සවාහිරී ද විය. අන්වාර් සදාත් ඝාතනයට හේතුව වූයේ ඔහු ඊශ්‍රායලය සමග සාම ගිවිසුමකට අත්සන් කිරීමය.

ජනාධිපති අන්වාර් සදාත් ඝාතනයට සෘජුව සම්බන්ධ නොවුණත්, අනවසරෙය් ආයුධ ළඟ තබා ගත් බවට සවාහිරී ට චෝදනා එල්ල වුණු අතර ඔහුට තෙවසරක සිර දඬුවම් නියම කෙරුණි. ඊජිප්තු බන්ධනාගාරයේ දී සවාහිරී නොයෙක් අමානුෂික වධබන්දනයන්ට යොමු කෙරුණි. විජාතික සහ සිත්පිත් නැති ප්‍රචණ්ඩ අන්තවාදියකු බවට ​අක්ෂි ශෛල්‍ය වෛද්‍ය සවාහිරී පරිවර්තනය වූයේ එදා කයිරෝ බන්ධනාගාරයේදීය.

1985 වසරේ නිදහස ලැබූ සවාහිරී සෞදි අරාබියට ගියේය. ඉන්පසු පාකිස්තානයටයත්, ඇෆ්ගනිස්තානයටත් ගියේය. ඇෆ්ගනිස්තානයේ දී ඔහු ‘ඊජිප්තු ඉස්ලාමීය ජිහාද්’ අන්තවාදී සන්නද්ධ කල්ලියේ ශාඛාවක් පිහිටුවා ගත්තේය. සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානයට අත්පත් කරගෙන සිටි කාලයේ අල් සවාහිරි ඇෆ්ගනිස්තානයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්න විය. 1993 වසරේ දී ප්‍රධාන ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලියට නායකත්වය දුන්නේ අල් සවාහිරී ය. ඊජිප්තු අග්‍රාමාත්‍ය අටීෆ් සිද්කී සහ ඊජිප්තු රජයේ අමාත්‍යවරුන්  ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළේ මෙම අන්තවාදී සන්නද්ධ කල්ලියයි. 1990 දශකය මැද දී, ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලිය ඊජිප්තු රජය පෙරළා, ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කළේය. ඒ අනුව දරුණු ලේ වැගිරීමක් විය. ඊජිප්තු වැසියෝ 1,200 ක් මරණයට පත් වූහ.

1997 වසරේ දී ඊජිප්තුවේ සංචාරක නගරයක් ද වන ලක්සෝර්වලට ප්‍රහාරයක් එල්ල විය. විදෙස් සංචාරකයන් අමු අමුවේ ඝාතනය කෙරුණි. එසේ කළේ ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලි සාමාජිකයන්ය. මියගිය පිරිස අතර ඇමෙරිකන් සංචාරකයෝ ද වූහ. සවාහිරී ඇමෙරිකාවේ සතුරකු බවට පත් විය. ඊජිප්තු හමුදා අධිකරණයක් අල් සවාහිරි සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්විය. ඒ අල් සවාහිරි අධිකරණයේ නොමැතිවය. එහිදී සවාහිරී ට මරණ දඬුවම් නියම කෙරුණි.

1990 දශකයේ අල් සවාහිරි ලෝකය පුරා සංචාරය කළ බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ. ඒ, ඔහුට රැකවරණය ලැබෙන ස්ථාන සහ අනුග්‍රාහකයන් සොයා ගැනීමේ අපේක්ෂාවෙනි. සෝවියට්වරුන් ඇෆ්ගනිස්තානය අතහැර යෑමෙන් පසු වසර කීපයක් සවාහිරී බල්ගේරියාවේ, ඩෙන්මාර්කයේ සහ ස්විට්සර්ලන්තයේ ජීවත් විය. ව්‍යාජ ගුවන් ගමන් බලබත්‍රයකින් බෝල්කන් රාජ්‍යයන් බලා ගියේය. ඔස්ට්‍රියාවේ, යේමනයේ, ඉරානයේ, ඉරාකයේ සහ පිලිපීනයේ ද සංචාරය කළේය. 1996 දෙසැම්බරයේ මාස 6 ක් රුසියන් අත්අඩංගුවේ පසුවිය. ඒ, නිසි වීසා බලපත්‍රයක් නොමැතිව චෙච්නියාවට යෑමට ගත් උත්සාහය අසාර්ථක වීමෙනි. තමන් කවුරුන්දැයි රුසියන් ආරක්ෂක අංශ හඳුනා නොගත්තේ තමන් සතුව පැවැති ලියකියවිලි අරාබි බසින් වීම නිසා යැයි සවාහිරී පසුව පැවැසුවේය. 1997 දී සවාහිරී ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් නුවරට පැමිණියේය. ඔසාමා බින් ලාඩන් සිටියේ ජලල්ලාබාද් නුවරය. බින් ලාඩන් හැදිමත් වී, සවාහිරීගේ ‘ඊජිප්තු ඉම්ලාමීය ජිහාද්’ කල්ලිය සහ තවත් ඉස්ලාමීය කණ්ඩායම් හවුල් කර ගනිමින් ‘අල් කයිඩා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය ශක්තිමත් කළේ ඒ අනුවය. අල් කයිඩාව ජාත්‍යන්තරයේ භීෂණය ආරම්භ කළේ ඉන් පසුවය.

කෙන්යාවේත් ටැන්සානියාවේත් ඇමෙරිකන් තානාපති කාර්යාලවලට පහර දෙමින් 223 දෙනකු මරා දැමීම කළේ බින් ලාඩන්ගේ ‘අල් කයිඩා’ සංවිධානයයි. බින් ලාඩන් සහ අල් කයිඩාව එම තානාපති කාර්යාලවලට පහර දුන් බව ඇමෙරිකන් බුද්ධි අංශ තහවුරු කර ගත්තේ සවාහිරීගේ චන්ද්‍රිකා දුරකතන පණිවුඩ හරහා ය. කෙන්යා සහ ටැන්සානියා තානාපති කාර්යාලවලට පහර දීමෙන් සති දෙකක් යද්දී ඇමෙරිකන් හමුදාව ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා පුහුණු කඳවුරු හඳුනා ගනිමින් ඒවාට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එයින් සවාහිරීගේ නියෝජ්‍ය නායකයන් ඝාතනය විය. ඒ අනුව සවාහිරී ට ජාත්‍යන්තරය සමඟ සබඳතා පැවැත්වීම ගැටලුවක් වූ බව පැවැසෙයි.

ඉන්පසු 2011 වසරේ දී ඇමෙරිකා හමුදා බින් ලාඩන් ඝාතනය කිරීම, සහ ඉන්පසු අල් කයිඩා නායකත්වය හිමිවනතුරු අල් සවාහිරි නිහඬ ගමනක් ඇරැඹුවේය. ඔහු නිවේදන නිකුත් කළේ ඉතාමත් කලාතුරකිනි. සවාහිරී අල් කයිඩා නායකත්වයට පත් වීමෙන් පසු ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් ඇෆ්ගනිස්තානයේ ප්‍රහාර සිදුවුවත් අල් කයිඩාව ‘ඇල් මැරුණු’ ස්වරූපයක් ගත්තේය. කාලයක් අල් කයිඩාව සමඟ එක් වී සිටි කුඩා ත්‍රස්ත කල්ලියක් වූ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිය, ඉරාකයේත් සිරියාවේත් හිස ඔසවමින්, අල් කයිඩාව පරයමින්, ලොව බිහිසුණුතම ත්‍රස්ත සංවිධානය බවට පත් වූයේ ඒ නිසාය.

සවාහිරී සිටින තැන නිවැරදිව දැන ගනිමින්, ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු ඝාතනය කිරීම ඇමෙරිකාව ලැබූ ජයග්‍රහණයකි. මාධ්‍යවෙත ලබා දුන් වීඩියෝ පණිවුඩය හරහා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පුන පුනා කියා සිටියේ 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වුණු අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සවාහිරි කටයුතු කළ බවය. ඔසාමා බින් ලාඩන්ගෙන් පසු සවාහිරි අල් කයිඩාවේ නායකයා වූවා සේම, සවාහිරීගෙන් පසු අල් කයිඩාවට නව නායකයකු පත් වනු ඇත. එසේ පත්වන නායකයා කවුරු වුවත්, ඔහු බින් ලාඩන් තරම් හෝ සවාහිරි තරම් හෝ බිහිසුණු නායකයකු නොවනු ඇත. මෙසේ පවසා ඇත්තේ සවාහිරී ඝාතන මෙහෙයුම දියත් කළ ඇමෙරිකන් සී.අයි.ඒ. බුද්ධි අංශයයි.

බීබීසී-ඩේලි​මේල් ඇසුරිනි


RECOMMEND POSTS