අඟහරු යන කෙල්ල.



අලිසා කාසන්, දැන් හැඩකාර, 20 හැවිරිදි ඇමෙරිකන් තරුණියකි. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ඇය ගැන කතාබහ කරයි. ඊට හොඳ හේතුවක් තිබේ. ඒ, ඇය අඟහරු බලා යෑමට අලිසා සූදානම් වන බැවිනි.

අඟහරු යෑම ඉතා අසීරු මෙන්ම ජීවිත අවදානම් ගමනක් බව අලිසා දනී. තමන් සඳහටම පෘථිවියට සමුදී අඟහරු ලොවේ පදිංචියට යෑමට පවා අලිසා සූදානමින් සිටී.

ඒත් අද හෙට අඟහරු ගමනක් සිදු නොවෙයි. ඇමෙරිකාවේ නාසා ආයතනය සැලැසුම් කර ඇත්තේ 2033 වසරෙන් පසු අඟහරු වෙත මිනිසුන් යැවීමේ මෙහෙයුම් ආරම්භ කිරීමටය. අඟහරු බලා යන ගමනට අධි බලැති රොකට්ටුවක් සහ ගගනගාමීන් ආරක්ෂිතව අඟහරු ගෙන යෑමට අභ්‍යවකාශ යානයක් අවශ්‍ය වෙයි. ඒවා තවමත් සැලැසුම් මට්ටමේ පවතී. දීර්ග කාලයක් අභ්‍යවකාශයේ ගත කිරීම, මිනිස් සිරුරට කායික මෙන්ම මානසික වශයෙන් ද අභියෝගයකි. 'පිස්සු නොවැටී' අඟහරු යෑම අභියෝගයක් යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසන්නේ ඒ නිසාය.

ගගනගාමියකු වීමේ සිහිනය සැබෑ කරමින්, අඟහරු හෙවත් රතු ග්‍රහයා මත පය තබන පළමු තැනැත්තිය වීම අලිසාගේ අරමුණ වන අතර, නාසා ආයතනයද පවසා ඇත්තේ ඇයට එම අරමුණ කරා යෑමට හැකිවනු ඇති බවය.

“පොඩ්ඩෝ අභ්‍යවකාශය ගැන උනන්දුයි. ග්‍රහලෝක තරු ගැන උනන්දුයි. මමත් එහෙමයි. මං අඟහරු ගැන උනන්දු වුණේ අවුරුදු තුනේදී. පුංචි කාලේ මං අභ්‍යවකාශය ගැනත් අඟහරු ගැනත් නිතරම ප්‍රශ්න අහනවා කියලා මගේ තාත්තා කියනවා.” යැයි අලිසා කියයි.

අලිසා අභ්‍යවකාශයට ඇලුම් කළේ කුඩා කාලයේ සිටය. ඒ බව හොඳින්ම දන්නේ ඇගේ පියා බර්ට් කාසන් ය. අභ්‍යවකාශය ගැන දැක්වූ උනන්දුව නිසාම, ඇයට අභ්‍යවකාශ කටයුතු ඉගැන්වීමට බර්ට් කටයුතු කළේය. ඇය නාසා පුහුණු පාඨමාලාවලට සම්බන්ධ කළේ ඔහුය.

“පුංචි කාලේ අලිසා මගෙන් අහනවා, අඟහරුවලට මිනිසුන් ගිහින් නැද්ද? මං ඇයට කීවා, හඳට මිනිසුන් ගියා, ඒත් අඟහරුවලට මිනිසුන් යනවා නම්, එහෙම යන්න ලැබෙන්නේ ඔයාගේ පරම්පරාවේ අයටයි කියලා. අලිසා ඒ ගැන ලොකුවට සිතන්න වුණා. ඇගේ අඟහරු සිහිනය ආරම්භ වුණේ එතැනින්. ඒත් තව අවුරුදු 20 කින් හෝ 25 කින් ඇය අඟහරු යාවි. සඳහටම මට ඇයට සමු දෙන්න වේවි. තාත්තා කෙනෙකු විදියට මට ඒක දරා ගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. මොනවා වුණත් මට මගේ දූ ගැන ආඩම්බරයි.” යැයි පියා බර්ට් කාසන් පවසන්නේ ඉතා හැඟීම් බරවය.

පුංචි කාලයේ සිටම අලිසා ‘අභ්‍යවකාශ කඳවුරුවලට’ (Space Camp) ඇලුම් කළාය. නාසා ආයතනය, ඇමෙරිකාවේ පමණක් නොව, රටවල් කීපයක Space Camps පිහිටුවා තිබේ. මෙම සෑම කඳවුරකටම සහභාගී වෙමින් ‘නාසා පාස්පෝට් වැඩසටහන’(NASA Passport Program) සම්පූර්ණ කළ පළමු තැනැත්තිය වන්නේ ද අලිසාය.

Space Camp යනු ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිමත් වී, අභ්‍යවකාශය ගැන කියා දෙන පුහුණු පාඨමාලාවකි. එසේත් නැතිනම් අධ්‍යාපනික වැඩසටහනකි. කාලය දින 5 කි. අභ්‍යවකාශ පුහුණු මෙහෙයුම් සහ රොකට් තාක්ෂණය ගැන දැනුම ලබා දීම මෙහිදී සිදුවෙයි. පළපුරුදු විද්වත්හු දේශකයන් විදියට පැමිණෙති.

අභ්‍යවකාශය සම්බන්ධ වාර්තා චිත්‍රපට, අභ්‍යවකාශයේ සිදුකළ ගවේෂණ මෙහෙයුම් සහ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත මෙහෙයුම් ද මෙම Space Camp වැඩසටහනට සහභාගී වන පොඩිත්තන්ට කියා දීම සිදුවෙයි. රටවල් කීපයක නාසා ආයතනය Space Camp පැවැත්වෙන අතර, ඒ සියලු පුහුණු වැඩසටහන්වලට සම්බන්ධ වූ තැනැත්තිය ලෙස විශේෂ උපාධියක් සහ සහතික පත් අලිසා සතුය.

“මා මුලින්ම සහභාගී වුණේ ඇලබාමා ප්‍රාන්තයේ හන්ට්ස්විල් අභ්‍යවකාශ කඳවුරටයි. ඒ කඳවුරට තුර්කියේ තුර්කි අභ්‍යවකාශ කඳවුරේ පුහුණුව ලැබූ කෙනෙක් ඇවිත් හිටියා. එයාගේ අත්දැකීම් එයා පැහැදිලි කළා. එවිටයි මට ආසාවක් ඇති වුණේ අනෙක් රටවල ඇති නාසා Space Camp වලට සහභාගී වෙන්න. ඒ කාලයේ තුර්කි අභ්‍යවකාශ කඳවුරට සහභාගී වුණු එකම ඇමෙරිකන් ජාතිකයා වුණේ මමයි. ඒ කඳවුරට, රටවල් 15 කින් පමණ පොඩිත්තෝ සහභාගී වී සිටියා” යැයි අලිසා අතීත සිදුවීම් සිහිපත් කරමින් කියයි.

විවිධ රටවල අභ්‍යවකාශ කඳවුරුවලට සහභාගී වීම අලිසාට විනෝදයක් විය. ඒ, සංචාරයට ඇය දක්වන ආසාව නිසාම නොවෙයි. රටරටවල සංචාරයේ දී අලිසාට ඇය හා සමාන අභ්‍යවකාශයට ඇලුම් කරන බොහෝ දෙනා දැන හඳුනා ගැනීමට ඉඩ ලැබුණු නිසාය.

විද්වතුන් ඇසුරු කරන්නට ද ඇයට අවස්ථාව ලැබුණි. එය ඇගේ දැනුම වර්ධනයට ඉවහල් වූ බව රහසක් නොවේ. අන්තර්ජාතික මිතුදම් වර්ධනය කර ගැනීමට අභ්‍යවකාශ කඳවුරු අලිසාට උදවුවක් විය.

“ඉතිං කොහොමද ඇත්තටම ගගනගාමියෙක් වෙන්නේ?” මේ පැනයට අලිසාගේ කෙටි පිළිතුරක් ඇත.

“ගගනගාමියකු වෙමින් ඒ ක්ෂේත්‍රයට පිවිසීම පහසු නැහැ. ඒක හරිම තරඟකාරී ක්ෂේත්‍රයක්. කරන්න දේවල් බොහොමයි. ගොඩක් මහන්සි වෙන්න සිදුවෙනවා. ඒත් ඒක බැරි දෙයක් නම් නොවෙයි.”

“ගගනගාමියකු වීමට ඇයදුම් කිරීමට නම් මූලික සුදුසුකම වන්නේ විශාරද උපධියක් තිබිය යුතුයි. එම ක්ෂේත්‍රයට අදාල පලපුරුද්දක් තිබිය යුතුයි. ඊට අමතරව, ගගනගාමියකු වීමට ඇයැදුම් කරද්දී තවත් කරුණු කාරණා කීපයක් ගැන කල්පනාවෙන් ඉන්න ඕනෑ. යම්කිසි විදියකින් ඔබ තෝරා ගැනුණේ නැතිනම්, එසේ වූයේ ඔබේ හෝ ඔබේ සුදුසුකම්වල අඩුපාඩුවක් නිසා නොවන්න පුළුවන්. ගගනගාමියකු ලෙස තෝරා ගැනීමට කරුණු කාරණා ගොඩක් බලපානවා. ඒක සිහියේ තබා ගැනීම වැදගත්. සාමාන්‍යයෙන් ගගනගාමීන් වෙන්න 18,000 ක් පමණ ඇයදුම් කරනවා. අවසානයේ දී 20 දෙනකු අතරින් 12 දෙනකු තෝරා ගැනෙනවා. අභ්‍යවකශ ක්ෂේත්‍රයට සම්බන්ධවීම ඇත්තෙන්ම අපූරු අත්දැකීමක් බව කියන්න ඕනෑ. මනෝවිද්‍යාත්මක අංශයෙන්, ආහාරපාන අංශයෙන් පමණක් නොව ජනසංනිවේදන කටයුතුවලින් පවා අභ්‍යවකාශ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා.”

මෙතෙක් බිහිවී ඇති ගගනගාමීන්ගෙන් සියයට 90 ක් පිරිමින්ය. අලිසාට අවශ්‍ය වී ඇත්තේ කාන්තා නියෝජනය වැඩි කිරීමටය. විශේෂයෙන් තමා වැනි තරුණියන් අභ්‍යවකාශ ක්ෂේත්‍රයට වැඩි වැඩියෙන් සම්බන්ධ විය යුතුයි යන්න අලිසාගේ අදහසය.

“ද්විතීක පාසලක පුංචි නංගිලා මල්ලිලා හමුවන්න මට අවස්ථාවක් ලැබුණා. මා ගගනගාමිනියක වීමට ආසා කිරීමත් අඟහරු යමට සිටින බවත් ඇසීමෙන් එයාලා පුදුම වුණා. එක පුංචි නංගියෙක් මගෙන් මෙහෙම ඇහුවා. මං අභ්‍යවකාශ විද්‍යාවට හරිම ආසයි. ඒ වගේමයි මෝස්තර නිර්මාණවලටත් මං ආසයි. මට පුළුවන් වේවිද අභ්‍යවකාශ ඇඳුම් නිර්මාණය කරන්න? මොකද බැරි මං ඇයට පිළිතුරු දුන්නා. නවීන පන්නයේ, පහසු ආකාරයේ නව තාක්ෂණයෙන් පිරිණු අපූරු ගගන ඇඳුම් නිර්මාණයට අද නාසා ආයතනය යොමු වී තිබෙනවා. මේ වනවිටත් 2024 සඳ ගමන වෙනුවෙන් නාසා ආයතනය සැහැල්ලු ගගන ඇඳුම් නිර්මාණය කර තිබෙනවා. 2024 වසරේ සඳ මෙහෙයුම 'ආටිමිස්' යනුවෙන් තමයි නාසා නම් කර තිබෙන්නේ. එහි විශේෂත්වයක් තියෙනවා. පළමු වරට කාන්තාවක් සඳට පය තැබීමට නියමිතව ඇත්තේ මෙම මෙහෙයුමේදී. නවීන විලසිතාවලින් නවීන පන්නයේ ගගන ඇඳුම් නිර්මාණයට ස්පේස් එක්ස් සමඟම සම්බන්ධ වෙනවා. ඒක හරියට සුපිරි වීරයන් වෙනුවෙන් සුපිරි ඇඳුම් නිර්මාණය කිරීමක් හා සමානයි.” යැයි අලිසා කියයි.

උසස් අධ්‍යාපනය ලබද්දීත්, සරසවි සිසුවියක් ලෙස අධ්‍යාපනය ලබද්දීත් අලිසා භාෂා කීපයකින් අධ්‍යාපන කටයුතු කළාය. ඇයට ප්‍රංශ, ස්පාඤ්ඤ ඇතුළු ලොව ප්‍රධාන පෙළේ භාෂා රැසක් හොඳින් පුළුවනි. නාසා ආයතනයේ ගගනගාමීන්ට පුහුණුව දෙන්නේ ජල ටැංකියක කිමි‍ඳීම මගිනි. ඒ, ගුරුත්ව බලය නොමැතිව පුහුණුව ලැබිය හැකි බැවිනි. අලිසා කුඩා කළ සිටම පිහිනීමටත් කිමිඳීමටත් දක්ෂය. රියදුරු බලපත්‍රය ලබා ගන්නත් කලින් ඇය ඇගේ රොකට් පැදීමේ බලපත්‍රය ලබා ගෙන තිබේ. ඇය දැන් හොඳින් පුහුණුව ලැබූ ස්කූබා කිමිඳුම්කාරියකි.

“අප පොඩිත්තන්ට කියන්නේ ලොකු වුණාම කැමැති ඕනෑ කෙනෙක් වෙන්න පුළුවන් කියලයි. ඒත් එහෙම වෙන්න නම් හොඳින් ඉගෙන ගන්න ඕනෑ. කැපවීමත් උනන්දුවත් තියෙන්න ඕනෑ. අලිසා ඒක හොඳින් වටහා ගත් දැරියක්. ඇය අධ්‍යාපන කටයුතුවලට අමතරව, ක්‍රීඩා කරනවා. බාහිර ක්‍රියාකාරකම් කරනවා. ගගනගාමියකු ලෙස කායික මෙන්ම මානසික පුහුණුවක් ලබනවා. ඇය උසස් පාසලේ අධ්‍යාපනය ලබද්දී, සරසවි පාඨාමාලාවලට සම්බන්ධ වුණා. භාෂා 4 කින් එම පාඨමාලා අවසන් කළා. ප්‍රංශ, ස්පාඤ්ඤ පමණක් නොවෙයි ඇයට චීන භාෂාවත් පුළුවන්” යැයි අලිසාගේ ගණිත ගුරුවරිය ලොරේන් වර්න්ස්ටෝම් පවසයි.

නැෂනල් ජියෝග්‍රැෆි


RECOMMEND POSTS