2020 වසරේ හොඳම ගුරුවරයා



සෑම වසරකම, හොඳම ගුරුවරයා තේරීමේ සම්මාන උළෙලක් පැවැත්වෙයිග දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී, සුවිශේෂී සේවයක් කරන ගුරුවරුන් සහ ගුරුවරියන් මේ සඳහා ඉල්ලුම් කරන අතර, වසරේ හොඳම ගුරුවරයා ලෙස විනිසුරු මඬුල්ලක් විසින් තෝරා ගන්නා ගුරුවරයාට හෝ ගුරුවරිය, ‘ග්ලෝබල් ටීචර්ස් ප්‍රයිස්’ සම්මානයෙන් පිදුම් ලබන්නේ, ඇමෙරිකන් ඩොලර් මිලියනයක තෑගි මුදලක් ද සමඟය.

‘ග්ලෝබල් ටීචර්ස් ප්‍රයිස්’ ජාත්‍යන්තර සම්මාන උළෙල සංවිධානය කරන්නේ, ‘වාර්කී’ පදනම සහ යුනෙස්කෝ සංවිධානයේ එකමුතුවෙනි. ‘ග්ලෝබල් ටීචර්ස් ප්‍රයිස්’ සම්මාන උළෙල ආරම්භ වූයේ මීට සය වසරකට පෙරය. 2020 වසර සඳහා ‘ග්ලෝබල් ටීචර්ස් ප්‍රයිස්’ සම්මානයෙන් පිදුම් ලබා හොඳම ගුරුවරයා බවට පත් වූයේ අසල්වැසි ඉන්දියාවේ තරුණ ගුරුවරයෙකි. ඔහු රාජිත්සිං දිසේල්ය.

ලොව රටවල් 140 ක, ගුරුවරුන් 12,000 ක පිරිසක් මෙම වසරේ ‘ග්ලෝබල් ටීචර්ස් ප්‍රයිස්’ සම්මාන උළෙල වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කර තිබුණි. අවසන් 10 දෙනා අතරින්, විනිසුරු මණ්ඩලයේ මනාපය හිමිවූයේ රාජිත්සිං දිසේල්ටය. රාජිත්සිං උගන්වන්නේ, ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිටිසරබදව පිහිටි පරිතේවාදී නමැති ගම්මානයේ බාලිකා ප්‍රාථමික පාසලේය. මෙම පාසලේ ඉගෙනුම ලබන්නේ දිළිඳු විවිධ ගෝත්‍ර ලෙස බෙදුණු ගැමි දැරියන්ය. ඉන්දියාවේ උප භාෂා බොහොමයක් වන අතර, මොවුන් එකිනෙකාගේ භාෂාව වෙනස්ය.

ඒ අනුව පෙළ පොත් භාවිතයට ගනිමින් ඉගැන්වීම අසීරු කටයුත්තකි. රාජිත්සිං, නව තාක්ෂණය භාවිතයට ගනිමින් ඊට විසඳුමක් ලබා දී තිබේ. ඒ, පෙළ පොත්වල ඇති පාඩම්, ඒ ඒ දැරියන් දන්නා සහ ඔවුන් භාවිත කරන භාෂාවට පරිවර්තනය කර දීමය. රාජිත්සිං, මූලික භාෂා දැනුම සම්පූර්ණ කර ගැනීමට අවස්ථාවක් ලබා දීමෙන් පසු, සෙසු පාඩම් පහසුවෙන් ඉගැන්වීම කළ හැකි බව රාජිත්සිංගේ විශ්වාසය වී ඇති අතර, ඔහුගේ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. රාජිත්සිං, මෙම කටයුත්ත සාර්ථක කරගෙන ඇත්තේ, විශේෂිත වූ ‘කියුආර්’ කේත සකස් කරමිනි.

විවිධාකාරයේ උප භාෂා සියල්ල පොදුවේ එක් භාෂාවක් යටතට ගෙන ඒමට රාජිත්සිං සකස් කළ ‘කියුආර්’ කේත ක්‍රමය අද ඉන්දියාවේ පිටිසර පළාත් බොහොමයක අධ්‍යාපන කටයුතුවලදී යොදා ගනී. නව තාක්ෂණය යොදා ගනිමින්, අධ්‍යාපනය නව මාවතකට යොමු කළ ගුරුවරයකු ලෙස මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයේ ඇගැයීමට ද රාජිත්සිං ලක් වී තිබේ.

ජයග්‍රාහකයා තෝරා ‘වසරේ ගුරුවරයා’ ලෙස කිරුළ ප්‍රදානය සිදුවූයේ පසුගිය දා ලන්ඩන් නුවර ජාතික ඉතිහාස කෞතුකාගාරයේ සිටය.

‘කොවිඞ් 19’ ගෝලීය වසංගතය හේතුවෙන් අවසන් වටයට තේරුණු සියලු ගුරුවරුන් උත්සවයට සම්බන්ධ කර ගැනීම සිදුවූයේ අන්තර් ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණයෙනි.

සම්මාන උත්සවය මෙහෙයවීම කරනු ලැබුවේ බ්‍රිතාන්‍ය නළුවකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස ද ප්‍රසිද්ධියට පත් ස්ටීෆන් ෆේ විසිනි. ජයග්‍රාහකයා රාජිත්සිං යැයි පවසද්දී, රාජිත්සිං සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මහත් සේ ප්‍රීතියට පත් වන ආකාරය වීඩියෝ දසුන් හරහා දකින්න ලැබුණි.

තමන් ගුරුවෘත්තියේ නියැලෙන්නේ හොඳම ගුරුවරයා වීමේ අපේක්ෂාවෙන් නොවන බව රාජිත්සිං ජයග්‍රහණයෙන් පසු පැවැසුවේය. ඉන්පසු ඔහු ‘ග්ලෝබල් ටීචර්ස් ප්‍රයිස්’ උළෙලේ ජයග්‍රාහකයකු මීට පෙර නොකළ දෙයක් ද කළේය. රාජිත්සිං පැවැසුවේ, ලැබුණු මිලියනයක මුදලින් තමන් ගන්නේ හරි අඩක් පමණක් බවය. ඉතිරි මුදල තමන් සමඟ අවසන් වටයට නම් කළ ගුරුවරුන් නව දෙනා අතරේ සමව බෙදා දෙන්නැයි ඔහු සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

අවසන් වටයට තේරුණු සෙසු ගුරුවරුන් නව දෙනා ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, වියට්නාමය, නයිජීරියාව, දකුණු අප්‍රිකාව, ඉතාලිය, දකුණු කොරියාව, මැලේසියාව සහ බ්‍රසීලය නියෝජනය කළ ගුරුවරුන් සහ ගුරුවරියන්ය.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS