2019 කැපී පෙනෙන පුද්ගලයා



ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ‘ටයිම්’ සඟරාව මෙම 2019 වසරේ ලොව කැපී පෙනෙන පුද්ගලයා ලෙස, ස්වීඩන ජාතික පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රෙටා තන්බර්ග් නම් කර ඇත.

මෙම දෙසැම්බර් මාසයේ පළ වන ‘ටයිම්’ සඟරාවේ විශේෂ කලාපයේ කවරය හැඩ ගැන්වෙන්නේ ද ග්‍රෙටා දැරියගේ රුවිනි. ග්‍රෙටා සම්බන්ධයෙන් විශේෂාංග ලිපි පෙළක් ද ‘ටයිම්’ සඟරාවේ දකින්න ලැබේ.

‘ටයිම්’ සඟරාව සෑම වසරකම දෙසැම්බරයේ ලොව කැපී පෙනෙන, සමාජීය වශයෙන් විශේෂ සේවයක් කරන පුද්ගලයන් තේරීම සිදු කරයි. ඒ, 1927 වසරේ සිටය. 1927 වසරේ සිට මේ දක්වා ළාබාල තැනැත්තකු ‘වසරේ කැපී පෙනෙන පුද්ගලයා’ ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. ග්‍රෙටා නව පරම්පරාවේ නායිකාවක යැයි ‘ටයිම්’ සඟරාව පෙන්වා දී ඇත.

ග්‍රෙටා තන්බර්ග් අද ජනප්‍රිය චරිතයක් බවට පත් සිටී. ග්‍රෙටා උපන්නේ, 2003 වසරේ ජනවාරි 3 වැනිදා ය. ඇය පරිසර ක්‍රියාකාරිනියක ලෙස කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන්නේ වයස අවුරුදු 15 සිට ය.

මිනිස් ක්‍රියාකාරකම් මුල්කොට ගනිමින් දේශගුණික විපර්යාස නිසා සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ඊට විරෝධය දක්වමින්, 2018 වසරේ අගෝස්තු මාසයේ ග්‍රෙටා ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ රැලි ආරම්භ කළාය. ඒ අනුව, පරිසරය සුරැකීමේ සංවිධානය ඇය වටා රොක් වීම ඇරැඹිණි. ග්‍රෙටා උද්ඝෝෂණ රැලි පවත්වන්න වූයේ සෑම සිකුරාදා දිනකම, පාසලෙන් විශේෂ අවසරක් ද ලබා ගනිමිනි.

ග්‍රෙටාට ඇගේ ගුරුවරුන්ගෙන් පමණක් නොව, සහෝදර සිසු සිසුවියන්ගෙන් ද එම උද්ඝෝෂණ සඳහා සහාය ලැබුණි. පසුගිය 2018 දීත්, මෙම 2019 දීත් නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද ග්‍රෙටාගේ නම යෝජනා විය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS