‘කෝවිඞ් 19’ ගැන දැනුවත් වෙමු



චීනයෙන් ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අද මුළුලොවම කැලඹීමට සමත් වී ඇත. වයිරසය හේතුවෙන්, ගෝලීය වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත.

කොරෝනා වයිරස යනු මොනවාද ?
කොරෝනා වයිරස යනුවෙන් හැඳින්වෙන්නේ සතුන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වන වයිරස විශේෂයකි. අද ලොව කැලඹීමට සමත් නව කොරෝනා වයිරසය හැඳින්වෙන්නේ ‘කෝවිඞ් 19’ යනුවෙනි. මනුෂ්‍යයන්ට ආසාදනය වන කොරෝනා වයිරස හතකි. එයින් හතරක් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරයි. ‘කෝවිඞ් 19’ වයිරසයේ සුලසුල තවමත් තහවුරු කරගෙන නැත. වයිරසයේ ජානමය ව්‍යුහය අනුව, එය වවුලන්ගේ සිට අතරමැදි සතකු (මෙම සතා කබල්ලෑවා යැයි සැක කෙරේ) හරහා මනුෂ්‍යයන්ට බෝ වුණු බවත්, දැන් මනුෂ්‍යයන් අතරේ එය විකෘතිකරණය වී, පැතිර යන බවත් වෛද්‍යවරුන්ගේ අදහසය. ‘සර්ස්’ සහ ‘මර්ස්’ යනුවෙන් හැඳින්වෙන්නේත් කොරෝනා වයිරසය.

‘කෝවිඞ් 19’ බලපෑම කොහොමද ?
‘කෝවිඞ් 19’ වයිරසය ආසාදනය වන සියයට 80 කට එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණි. වයිරසයේ පොදු රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, ඇඟපත වේදනාව, උගුරේ වේදනාව ය. ඇතැමුන්ට පාචනය ඇති විය හැකිය. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ද නැද්ද යන්න කල්වේලා ඇතිව හඳුනා ගැනීම ඉතා වැදගත්ය. චීනයේ බොහෝ මරණ වාර්තා වූයේ වයිරසය ‘කෝවිඞ් 19’ බව කල්තියා හඳුනා නොගත් බැවිනි.

කොහොමද බෝ වෙන්නේ ?
‘කෝවිඞ් 19’ වයිරසය පැතිරෙන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙයි. වෙනත් කොරෝනා වයිරස සමඟ බලද්දී, කැස්ස සමඟ පිටවන කෙළ බිඳිතිවලින්, කිවිසුම් යද්දී වාතයට එක්වන සොටු බිඳිතිවලින් පැතිරෙයි. එම ආකාරයට වයිරසය ආසාදනය වීමට නම් ඔබ වයිරස ආසාදිතයකු අසල සිටිය යුතුය. මීටරයක ප්‍රමාණයකට වයිරසය පැතිරෙයි. මෙම කෙළ බිඳිති සපර්ශ වීමෙන් වයිරසය ආසාදනය වෙයි. වෙනත් කොරෝනා වයිරස (සර්ස්, මර්ස් වැනි) සසදද්දී, උෂ්ණත්වය අඩු පරිසරයකදී, වයිරස විසබීජ දිගු කාලයක් තැම්පත් වී තිබිය හැකිය.

දැඩි උණුසුම නිසා වයිරසය විනාශ වෙනවාද ?
සාමාන්‍යයෙන් විෂබීජ (කොරෝනා වයිරස විෂබීජ) පවා හිරු රැස්වලින් විනාශ වෙයි. ඒ අනුව ‘කෝවිඩ්’ 19 ද විෂ බීජ හිරු රැස් නිසා විනාශ යා යුතුය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂකයන් කිසිවක් ස්ථිර වශයෙන් පවසා නැත.

ඉතිං බෙහෙතක් නැද්ද ?
‘කෝවිඞ් 19’ වයිරසය සෘජුව කිසිදු බෙහෙතක් නැත. කිසිදු ඖෂධයක් නිර්දේශ කර නැත. චීනයේ ‘කෝවිඞ් 19’ ආසාදිතයන්ට ඖෂධ වර්ග කීපයක් ලබා දෙයි. එච්.අයි.වී. ආසාදිතයන්ට, මැලේරියාවට සහ ආතරයිටිස් සඳහා ලබා දෙන ඖෂධ කෝවිඞ් 19 රෝගීන්ට ලබා දෙයි. මාරාන්තික තත්ත්වය මඟහරවා ගැනීමට ඒ අනුව හැකිවී තිබේ. ඊට අමතරව ඉබෝලා වයිරසය මර්දනයට නිපදවා ඇතිපර්යේෂණ මට්ටමේ ඔසුවක් ද ‘කෝවිඞ් 19’ රෝගීන්ට ලබා දීමට සූදානම් වෙයි. මෙම නව ඔසුව සම්බන්ධයෙන් ඇමෙරිකාවේත්, චීනයේත් පර්යේෂණ සිදුවෙයි. ඒ,  එය ලබා දීම ආරක්ෂිත ද නැද්ද යන්න සම්බන්ධයෙනි.

කාටද මාරාන්තික ?
නිව්මෝනියා තත්ත්වයට පත්වුණු විට ඕනෑම කෙනකුට වයිරසය මාරක විය හැකිය. ඒ අතරින්, කුඩා දරුවන් හෝ අවුරුදු 60 වැඩි, වෙනත් රෝගී තත්ත්වයන් ඇති අයට ‘කෝවිඞ් 19’ වයිරසය මාරක විය හැකිය. පෙනහලු දුර්වල අයට, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳින අයට ‘කෝවිඞ් 19’ මාරක විය හැකිය. ‘කෝවිඞ් 19’ කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩියෙන් ආසාදනය වෙයි.  පිරිමින් මෙන් නොව, රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව කාන්තාවන්ට වැඩිය. යම් කෙනකුට මෙම වයිරසය ආසාදනය වී කිසිදු රෝග ලක්ෂණයක් පහළ නොවී සිටියහ හැකිය. එවැනි පුද්ගලයන්ගෙන් රෝගය නොදැනුවත්වම තව කෙනකුට බෝ වෙයි. මෙවැනි පුද්ගලයන් වාහක ආසාදිතයන් ලෙස හැඳින්වෙයි.

බේරෙන්න නම් කළ යුත්තේ ?
පිරිසුදුකම ඉතා වැදගත්ය. ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් වැළකීම, හැමවිටම අත් සෝදා පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්ය. අපිරිසුදු දෑත්වලින් මුහුණ ඇල්ලීම (විශේෂයෙන් ඇස්, කන් සහ නාසය) නොකළ යුතුය. වයිරස විෂබීජ ශරීරගත වෙන්නේ නාසයෙන් සහ මුඛයෙනි. කිවිසුම් යද්දී ටිෂූ භාවිතා කරනවා නම්, එම ටිෂූ තැන් තැන්වල නොදා විසි කළ යුතුයි. ලේන්සුවක් නැතිනම් කිවිසුම් යද්දී වැලමිටින් මුහුණ ආවරණය කර ගත යුතුයි. පොදුවේ නිතර ස්පර්ශ වන (කාර්යාලයේ දී නම් දොරවල්, ඇඟිලි සටහන් තබන යන්ත්‍ර, දුරකතන ආදිය.) නිතරම පිරිසුදු කළ යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ
වාර්තාවක් ඇසුරිනි

 

 


RECOMMEND POSTS

RELATED POSTS