වසර 3,000 ක් පැරැණි කිරි බෝතලේ



අපි ගොවිපොල සතුන්ගේ කිරි බීමට පුරුදු වූයේ කවදාද? අපි එසේ කිරි බොන්නේ කවදා සිටද? මේ ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරක් දීමට හැකියාවක් නොතිබුණි.

ඒත් දැන් ජර්මන් සහ ඔස්ට්‍රියන් ර්යේෂණ කණ්ඩායමක්, ඔවුන් විසින් කළ නව සොයා ගැනීමක් පාදක කර ගනිමින් පෙන්වා දී ඇත්තේ, මීට අවුරුදු 3,000 කට එපිට, ආදි පොඩිත්තන් ගොවිපොල සතුන්ගේ කිරි බී බවය. මේ බව අනාවරණය වූයේ ලොව පැරැණිතම ‘කිරි බෝතලය’ සොයා ගැනීමත් සමඟය.

‘කිරි බෝතල්’ යැයි කීවාට, පර්යේෂණ කණ්ඩායමට සොයා ගැනීමට හැකි වී ඇත්තේ කුඩා මැටි බඳුන් කීපයකි. මේවාට බෝතලයක හැඩයක් නැත. පෙනුමින් පුංචි කේතලයක් වැනිය.

හුරුබුහුටිය. ප්‍රමාණයෙන් එක  සමාන වුවත් මේ මැටි බඳුන් සතුන්ගේ හැඩය ගන්නා බව ද පෙනෙයි.

ජර්මනියේ බ්‍රැවේරියාවේ කුඩා දරුවන්ගේ සොහොනක කළ ගවේෂණයකදී මේ මැටි බඳුන් හමුවිය. මේ සොහොන ක්‍රි.පූ. 1,200 ත්, ක්‍රි.පූ. 450 ත් අතර කාලයට අයත් බව කාලය නිර්ණය කිරීමේ පරීක්ෂණවලින් තහවුරු විය.

මේ මැටි බඳුන් හරියටම මොකක්දැයි පර්යේෂකයන්ට එකවිට හඳුනා ගැනීම අසීරු විය. වැඩිදුර පරීක්ෂා කරද්දී කරුණු කාරණා පැහැදිලි වෙන්න පටන් ගත්තේය. හුරුබුහුටි බඳුන කුඩා දරුවකුට දෝතින් අල්ලා ගැනීමට හැකිය.

ඒ අනුව, මේ මැටි බඳුන කුඩා දරුවන් භාවිත කළ එකක් බව පැහැදිලි විය. පිටතට නෙරා ආ කොටසින් ඇතුළට දමන දියර ඉරීම සිදු කරන්න ඇතැයි ද පැහැදිලි විය.

‘කිරි බෝතලයක්’ යැයි තහවුරු කර ගැනීම සිදුවූයේ මැටි බඳුන සියුම් ලෙස පරීක්ෂා කරද්දීය. සත්ව කිරිවල අඩංගු මේද සහ බැක්ටීරියා සංඝටක මැටි බඳුනේ තිබී සොයා ගැණුනි.

ඒවා බැටළු සහ එළු දෙනුන්ගේත් එළදෙනුන්ගෙන් ලබා ගත් කිරි බව ද පැහැදිලි විය. ඒ අනුව ලොව අප මෙතෙක් දන්නා පැරැණිතම කිරි බෝතලයේ තොරතුරු කරළියට පැමිණියේය.

මේ සියල්ල අනාවරණය කරගෙන ඇත්තේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ය. ඔස්ට්‍රියන් විද්‍යා ඇකඩමියේ මහාචාර්ය කැත්රිනා රීබේ සැලිස්බරි මෙම සොයා ගැනීමට සම්බන්ධ වූ පර්යේෂකවරියකි.

‘පූර්ව ඓතිහාසික යුගයේ පවා බබාලා ලොකු මහත් කිරීම අභියෝගයක් වූ බව පැහැදිලියි. මවු කිරි පමණක්, දරුවන්ට ප්‍රමාණවත් වෙලා නැහැ. දරුවන්ගේ පෝෂණය ගැන, දරුවන්ගේ වර්ධනය ගැන වැඩි අවදානයක් යොමු කළ මවුවරුන් සිටිය බව පැහැදිලියි. අද අපි ගොවිපොල සතුන්ගේ කිරි බොනවා. පිටි කිරිවලට වඩා ගුණයෙන් සහ පෝෂණයෙන් වැඩි නැවුම් කිරි. අපි කිරි බොන්නේ කවදා සිටදැයි මෙතෙක් දැන සිටියේ නැහැ. ඒ ගැන පැහැදිලි නිශ්චිත සාක්ෂි සහිත අනාවරණයක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි. ඒ නිසා මේ සොයා ගැනීම වැදගත්’ යැයි ඇය කියයි.

ලුසිත ජයමාන්න
‘ද සන්’ ඇසුරිනි

 


RECOMMEND POSTS

RELATED POSTS