මම ෆීල්ඩ් මාෂල් වුණේ ගෝල් ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි



වසර 32 ක යුද්ධයෙන් බැට කෑ ශී‍්‍ර ලාංකික ජනතාව යුද්ධය අවසන් වීමෙන් පසු සැණකෙළි දිවියක් ගෙවීම වරදක් නොවූවද බලලෝභී දේශපාලනඥයන්ද එම කතුරු ඔන්චිල්ලාවට නැඟීම නිසා ජාතික ආරක්‍ෂාව අනතුරට පත්වූ බව හිටපු හමුදාපති, ෆීල්ඞ් මාෂල්, සරත් ෆොන්සේකා මහතා පැවසීය. හදිසි නීතියට අදාළ රෙගුලාසි සම්මත කරගැනීම සඳහා පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ෆෙන්සේකා මහතා එසේ පැවසීය.

”යුද්දෙ ඉවරු වුණාට පස්සේ අපි හරි මාර්ගයෙ ගියෙ නෑ කියලා මම විශ්වාස කරනවා. අවුරුදු 32 ක යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපි කානිවල් ජීවිතයක්, එහෙමත් නැත්නම් විශාල උත්සවාකාර ජීවිතයක් අපිට ආරම්භ කරන්න පුළුවන් වුණා”

”දීර්ඝ කාලයක් දුක්විඳලා අපිට ලැබුණ අවස්ථාවේදී එහෙම කරපු එක වරදක් නෙමේ. අපිට නිදහස ලැබුණා. ආරක්ෂාව තිබුණා”

”නමුත් අපි දේශපාලකයෝ සහ හමුදා ප‍්‍රධානියො හැටියට ඒ ගොල්ලොත් මේ කානිවල් එකේම, ඒ කතුරු ඔන්චිල්ලාවෙම නගින්නෙ නැතුව අපිට එතනින් එහාට ගිහිල්ලා වගකීමක් තිබුණා. රට ආරක්ෂා කරනවා කියන එක ත‍්‍රස්තවාදයක් එනකන් ඉඳලා කරන්න  ඕන දෙයක් නෙමෙයි. ඒක දේශපාලකයන්ටයි, හමුදා ප‍්‍රධානීන්ටයි තේරෙන්න  ඕන” යයිද ෆොන්සේකා මහතා පැවසීය.

ෆීල්ඞ් මාෂල් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව මෙසේය.

කතානාක කරු ජයසූරිය මහතා -

ගරු ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, ඔබ තුමාට විනාඩි 15 ක් තිබෙනවා.

සරත් ෆොන්සේකා මහතා -

ගරු කතානායක තුමනි, විනාඩි 15 ඇති හමුදාවේ සාජන් කෙනෙකුට මේක ගැන කතා කරන්න.

කතානාක කරු ජයසූරිය මහතා -

නෑ ඉතින් මට අද වෙන් කරපු.... ඒක මගේ රාජකාරියක් නෙමෙයි ගරු මන්තී‍්‍ර තුමනි.

(සැවොම සිනාසෙති)

සරත් ෆොන්සේකා මහතා -

අපේ රටේ සිදුවුණ විශාලම ඛේදවාචකයට අපි දවස් කිහිපයකට ඉස්සෙල්ලා මුහුණ දුන්නා.

අවුරුදු 32 ක යුද්දය කාලෙදි වුනත් එක දවසකින් එක වෙලාවකට ඔය වගේ විශාල ඛේදවාචකයක් සිදු වුණේ නෑ. ඒකට හේතුව යුද්දෙ හෙමින් පටන් අරන් වැඩි වුණා. හමුදාව, රට ඒවට පුරුදු වෙලා සූදනම් වෙලා ජීවත් වුණා. කෙසේ වුණත් 360 ක් මැරිලා මේ වෙනකොට. 500 කට අධික පිරිසක් තුවාල ලබලා. මුලූ රටම කම්පාවට පත්වෙන ඛේදවාචකයක්  සිදුවුණා.

අද මම කතා කරන්නේ, ගරු කතානායක තුමනි, ආණ්ඩුව පැත්තෙ ඉඳලා නෙමෙයි. රටේ පැත්තෙ ඉඳලා.

ඒක හන්දා රට වෙනුවෙන් මේ වගේ තත්වයකට අපි මුහුණ දුන්නම අපිට වේදනාවක් තියෙනවා. අපි රටට සේවය කරපු අය. රට වෙනුවෙන් කැප කිරීම් කරපු අය. මෙතනදි ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයින් ආරක්ෂා කිරීම අදාල නෑ. අපි රට ගෙඩගන්නෙ කොහොමද, රට ඉදිරියට ගෙනියන්නෙ කොහොමද කියන එකට යථාර්ථයට මුහුණදීලා කතා කරන්න අවශ්‍ය වෙලාවක් මේක.

අපි අවුරුදු 32 ක් දුක්විඳපු රට බේරගත්තා. ඒ තිබුණ ප‍්‍රශ්නය අවුරුදු 32 ක් ඇදිලා යෑමටත් හේතු කාරණා වුණේ මම දකින විදියට මගේ මතය, මගේ හෘද සාක්ෂිය ප‍්‍රධාන වශයෙන්ම දේශපාලකයින්ගේ. ඒ වගේම හමුදා ප‍්‍රධානීන්ගේ තිබුණ දුර්වලතා. නැත්නම් ඒ යුද්ධයත් ඊට ගොඩාක් කලින් ඉවර කරන්න පුළුවන් අවස්ථා තිබුණා.

නමුත් ඒ ඒ දුර්වලතා ප‍්‍රභාකරන් වැනි අය අඳුනගත්ත නිසා යුද්ධය අවුරුදු 32 ක් ඇදිලා ගියා. ඒකේ ප‍්‍රතිඵලයක් හැටියට රට විනාශ වෙලා රට වැසියා දුක්වින්දා. ඊට පස්සේ මම හිතනවා නිසි අයට වගකීම් පැවරිච්ච අවස්ථාවේදී ඒ ප‍්‍රශ්නයෙන් අපිට ගොඩ එන්න පුළුවන් වුණා. ඒක තමා ඒ අතීත කතාවේ ශෝකාලාපය. 


දැන් අද ජනතාවට භයානක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක සුළුවෙන් සැලකිය හැකි තත්වයක් නෙමෙයි. ඉතා භයානක තත්වයක්. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට මේ තත්වයට එන්න විශාල කාලයක් ගියා. අවුරුදු 10 කට 12 කට අධික කාලයක් ගියා මේ දින කිහිපයකට කළින් සිදුවුණා වගේ සිද්ධියක් කි‍්‍රයාවට යොදවන්න.

නමුත් දැන් මේ ත‍්‍රස්තවාදය එතැනින් පටන් අරන් තියෙනවා. ත‍්‍රස්තවාදීන් දෙගොල්ලගේ අරමුණ වෙනස්. එල්.ටී.ටී.ඊ. එක ආවේ රට බෙදන්න. ඒක හන්දා භූමිය අල්ලගෙන ඉන්න ගිහින් එයාලා විනාශ වුණා. මේගොල්ලො ඇවිත් තියෙන්නේ රට බෙදන්න නෙමෙයි. ප‍්‍රහාර එල්ල කරන්න. ඒගොල්ලන්ගේ ආගමට යම් කිසි ප‍්‍රතිරූපයක් ගොඩනගන්න හදනවා වැරදි මාර්ගයෙන්.


ඒ ගැන අපි කණගාටු වෙනවා. ඒ තරුණයො නොමග යෑම ගැන අපි ඇත්තටම කණගාටු වෙනවා. තාම ඒ තරුණයො එක්ක වෛරයක් අපේ හිතේ නෑ. නමුත් ඒගොල්ලන්ගේ ත‍්‍රස්තවාදයේ අරමණු වෙනස්. ඒක ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයක්. ඒගොල්ලන්ට ජාත්‍යන්තර සහාය නෑ. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට ජාත්‍යන්තර සහාය තිබුණා. දැන් අපිට ජාත්‍යන්තර සහාය තියෙනවා. නමුත් මේ ත‍්‍රස්තවාදය ඉතා දරුණු විෂ බීජයක්. ඒක හන්දා ඒකට මුහුණ දෙන්න වෙනවා.

දැන් නැවතත් මේ රටේ ජනතාවට ත‍්‍රස්තවාදය මොක වුණත්, එකම අදීනව වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් නැවතත් ජනතාවගේ ජීවිත අවිනිශ්චිතයි. එළියට ගියාම අපහු එන්න හම්බවෙයිද දන්නේ නෑ. අම්මයි තාත්තයි වාහන දෙකක වැඩට යන්න  ඕන. දරුවො දෙන්නා එක වාහනේක ඉස්කෝලෙ අරින්නේ නෑ.

ඊට පස්සේ ආරක්ෂක කපොලූ එහෙම අරින්න සිද්ධ වේවි. ජනතාවගේ සාක්කු, කලිසම්, බඩවල් ඔක්කොම අතපත ගාලා. සුද්ධ කරලා, පරික්ෂා කරන්න වේවි. ඒවයින් හිරිහැර වේවි. රැවුලක් වවාගෙන ඉන්න තරුණයෙක් දැක්කොත් මුස්ලිම් තරුණයෙක් කියලා අල්ලගෙන ප‍්‍රශ්න කරන්න පටන් ගනී. (තමාගේ වම්පස සිටින ආශූ මාරසිංහ මහතා දෙසට අත දිගු කරමින්) මේ වගේ අයට රැවුල බාන්ඩ වෙනවා දැන්.

ඊළගට සංචාරකයින්ගේ ඒම අනිවාර්යෙන් නවතිනවා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ආයෝජන එන එකක් නෑ. ආණ්ඩුවට විතරක් නෙමෙයි මේක බලපාන්නේ. මේක විසඳුනේ නැත්නම් (විපක්ෂය දෙසට අත දිගු කරමින්) තමුන්නාන්සෙලාගේ අණ්ඩුවක් ආවත් මේ ප‍්‍රශ්නයට මේ ආකාරයටම මුහුණ දෙන්න වෙනවා. ඒක හන්දා මේ තත්වයෙන් අපි ගොඩ එන්න  ඕන එකතුවෙලා. එකට ශක්තිමත් වෙලා. මේ සභාගර්භයේ සිටින සියලූ දෙනාගේම ආශිර්වාදය මැද අපි මේකෙන් ගොඩ එන්න  ඕන.

දැන් සමහරු අහන්න අකමැති වෙයි. විශේෂයෙන්ම දේශපාලකයෝ. මෙතන ඉන්න හැමෝම දේශපාලකයෝ කොයි පැත්තෙ හිටියත්.

පහුගිය යුද්දෙ ඉවරු වුණාට පස්සේ අපි හරි මාර්ගයෙ ගියෙ නෑ කියලා මම විශ්වාස කරනවා. මේක මගේ මතය. තමුන්නාන්සෙලා විරුද්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ අවුරුදු 32 ක යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපේ කානිවල් එකක් එහෙමත් නැත්නම් විශාල උත්සවාකාර ජීවිතයක් අපිට ආරම්භ කරන්න පුළුවන් වුණා.

ඒක කරපු එක වරදක් නෙමෙයි. දීර්ඝ කාලයක් දුක්විඳලා අපිට ලැබුණ අවස්ථාවේදී අපිට නිදහස ලැබුණා. ආරක්ෂාව තිබුණා. අපිට කානිවල් ජීවිතයකට අතපත ගාන්න ආපහු අවස්ථාව ලැබුණා. නමුත් අපි දේශපාලකයෝ සහ හමුදා ප‍්‍රධානියො හැටියට ඒ ගොල්ලොත් මේ කානිවල් එකේම, ඒ කතුරු ඔන්චිල්ලාවෙම නගින්නෙ නැතුව අපිට එතනින් එහාට ගිහිල්ලා වගකීමක් තිබුණා. රට ආරක්ෂා කරනවා කියන එක ත‍්‍රස්තවාදයක් එනකන් ඉඳලා නෙමෙයි. ඒක දේශපාලකයන්ටයි, හමුදා ප‍්‍රධානීන්ටයි තේරෙන්න  ඕන.

ඒ වගකීම යුද්ධයක් තිබුණත් නැතත්, ත‍්‍රස්තවාදයක් තිබුණත් නැතත් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කළේ නෑ. යුද්දෙ ඉවර වුණ දවසෙ ඉඳලා කානිවල් මූඞ් එක හොඳට තිබුණා. අපිට බලේට එන්න තියෙන ආසාවල්, ඊට පස්සෙ ප‍්‍රතිලාභ ලබාගැනීම්, හොඳ ජීවිතයක් ලබාගැනීම්. ඒ වුණාට නැවතත් වර්ථමාන ලෝකෙ සිද්ධවෙන දේවල් දැක්කාම අවදානමක් ගන්න සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපි බරපතල ලෙස තේරුම් ගත්තේ නෑ. යම් යම් තැන්වල කියවුණා. නමුත් බරපතල ලෙස තේරුම් ගත්තේ නැ.


රටක ආරක්ෂාව කියන්නේ ප‍්‍රමුඛත්වයේ අංක එක. ආර්ථිකය කියන්නේ ප‍්‍රමුඛත්වයේ අංක දෙක. ඒකට හේතුව තමා ආරක්ෂාව නැති තැනක ආර්ථිකයක් ගොඩනගන්න බෑ. ආර්ථිකයක් ගැන සිහින දකින රටක් නම් අනිවාර්යෙන් ආරක්ෂාවක් ඉතා තදින් තියෙන්න  ඕන ශක්තිමත්ව. ඒ වෙනුවෙන් වියදම් කරන්න ලෑස්ති වෙන්න  ඕන.

උදාහරණයක් හැටියට සිංගප්පූරුව කියන්නෙ අපේ කොළඹ නගරය වගේ රටක්. නමුත් ඒ රටේ ආරක්ෂක හමුදාවල පුහුණුව දීලා තියෙනවා මිලියන 3 කට. සියලූම දෙනාට. ඒ රටේ ආරක්ෂක හමුදා වලට වෙන්කරලා තියෙන අයවැය අග්නිදිග ආසියාවේ තියෙන වැඩිම ආරක්ෂක අයවැය.  ඕස්ටේ‍්‍රලියාවටත් වඩා වැඩියි.


අපේ දේශපාලකයෝ මම දැකලා තියෙනවා මගේ අත්දැකීම් එක්ක හුගක් වෙලාවට ආරක්ෂාව තර කරා කියලා, හමුදා හැදුවා කියලා ඡුන්ද හම්බෙන්නේ නැති හින්දා ආරක්ෂාව වෙනුවෙන් යොමුකරන අවධානය හුගක් අඩුයි. ඒ වගේ ප‍්‍රතිඵල වලට තමා අපිට අද මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. යම් කිසි විධියකින් රටක ආරක්ෂාව නෑ කියන්නේ ඒ රටේ වගකිව යුත්තෝ යුතුකම් ඉෂ්ඨ කරලා නෑ කියන එක.

ඒකෙන් අපිට ගැලවෙන්න බෑ. අපි සියලූ දෙනාම මොන පක්ෂෙ හිටියත්, මොන පැත්තෙ වාඩිවෙලා හිටියත් මේවට වගකියන්න  ඕන. සමහරු කි‍්‍රයාත්මක කරනවා. සමහරු විවේචනය කරනවා. නමුත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. වගකීම නැති හින්දා තමයි රටක ආරක්ෂාව නෑ කියලා ඒ තත්වය ඇතිවෙලා තියෙන්නේ. ජනතාව මේක තේරුම් ගනීවි.

පසුගිය දවස්වල ඇති වුණ සිද්ධිය පිළිබඳව විදේශ බුද්ධි අංශ අපිට දැනුම් දුන්නා. ඒක ගැන එක එක මත යනවා. දැන් මෙතන වාද විවාදයක් ගියා දිනය ගැන.

කථානායක කරු ජයසූරිය මහතා -

(ෆොන්සේකා මහතාගේ කථාවට බාධා කරමින්) තව විනාඩි 5 ක් තියෙනවා ඔබ තුමාට.

සරත් ෆොන්සේකා මහතා -

(විපක්ෂය දෙසට අත දුගු කරමින්) මට වෙලාව මදි වුණොත් ඔබ තුමාලවත් වෙලාව ටිකක් දෙන්න.

කථානායක කරු ජයසූරිය මහතා -

එහෙම ඉල්ලගන්න සභා නායක තුමාගෙන්.

සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

තව විනාඩි පහක් දෙනවා.

සරත් ෆොන්සේකා මහතා - (නැවත සිය කථාව ආරම්භ කරමින්)


විදේශ බුද්ධි අංශ මේ ගැන දැනුම් දුන්නා. එතකොට 4 වෙනිදා දැනුම් දුන්නද, 9 වෙනිදා දැනුම් දුන්නද කියන එක අදාල නෑනෙ. 4 වෙනිදා දැනුම් දුන්නා නම් 5 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න  ඕන. 9 වෙනිදා දැනුම් දුන්නා නම් 10 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න  ඕන. ඒ වගේ එකකට මේ වගේ සභාවක කෑකෝ ගහන එකේ කිසිම තේරුමක් නෑ.

ඊළගට මම දැක්කා ලියුමක් තියෙනවා. අපිට දුන්නා අපේ ඇමති ආරක්ෂක අංශය ඇවිල්ලා. ඒ තියෙන්නේ පොලිස්පති ඇරපු ලියුම. තව මම දැක්කා ඊයේ ටීවි එකේ. ජාතික බුද්ධි ප‍්‍රධනියා පොලිස්පතිට එවපු ලියුම. ඒ ලියුම පොලිස්පතිට එවලා තියෙනවා ජාතික ජාතික බුද්ධි ප‍්‍රධනියා. අපි දන්න විදියට ආරක්ෂක කවුන්සිලයක ජාතික ජාතික බුද්ධි ප‍්‍රධනියා ඉන්නේ පොලිස්පති යටතේ නෙමෙයි.


ඔහු ඉන්නේ ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක ඇමති යටතේ. එතකොට ජාතික බුද්ධි ප‍්‍රධනියා ලියුමක් එවනවා නම් අනිවාර්යෙන්ම ජනාධිපතිටත් යනවා. ඒ ලියුම තමා ගිහින් තියෙන්නේ ආරක්ෂක ලේකම්ටත්. ඒ ලියුම අනිවාර්යෙන් පොලිස්පතිටත් යනවා. එතකොට මේ ලියුම යටතේ කි‍්‍රයා කළේ නැ කියලා, පොලිස්පති අල්ලන් කන්න හදන එක හරිද. එතකොට ජනාධිපතිට ඒ ලියුමේ පිටපතක් නොගියා නම් ඒක වෙනම ප‍්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නෑ.

ආරක්ෂක කවුන්සිලය සුමානෙකට පාරක් තිබුණ නම් අනිවාර්යෙන්ම මේ ලියුම ගැන කථා කළ යුතුව තිබුණා. මේ වගේ ලියුමක් ආවාම ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවන්න  ඕන. සුමානයක් යනකම් ඉන්න බෑ. ඒ හන්දා පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප‍්‍රශ්නෙට විසඳුමක් එන්නේ නෑ. පහළ තැනින් වතුර බහින්න හදන එක මම හිතන්නේ හරිම අසාධාරණයි.

අපේ ආණ්ඩුව වුණත් පොලිස්පතිට මේකට බැනලා. පොලිස්පති ගැන පුද්ගලික මතයක් නෙමෙයි මම කියන්නේ. පොලිස්පති පත්කරපු වෙලේ මම කිව්වා වික‍්‍රමසිංහට දුන්නා නම් මීට වඩා හොඳයි කියලා. මම කිව්වේ වික‍්‍රමසිංහට අවුරුදු 2 ක් දීලා මෙයාට දෙන්න කියලා. මම ජනාධිපති හම්බෙලා 4 පාරක් ඒක කිව්වා. නමුත් මෙතන තියෙන්නේ වෙන ප‍්‍රශ්නයක්.

පොලිස්පති එළියට දැම්මා කියලා මේ ප‍්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඒකට වගකිව යුත්තො ඉන්නවා ඊට වඩා ඉහළින්. ඒගොල්ලො මේකට වගකියන්න  ඕන. ඒ නිසා ඒ ලියුම ගණන් ගත්තේ නැති එක විශාල ප‍්‍රශ්නයක්. ඒක රටේ ආරක්ෂාවට ඇති වුණ විශාල පහරක්.


මේ සිද්ධිය වෙලත් අගමැතිතුමා හමුවීමට ඒමට මට ආරාධනාවක් ලැබුණේ පැය 48 කට පස්සෙ. එතකන් අගමැතිතුමා හම්බෙන්න මට ආරාධනාවක් ආවේ නෑ. මම ෆීල්ඞ් මාෂල් කෙනෙක්. මම මේව ගැන දන්නවා. මම ෆීල්ඞ් මාෂල් වුණේ ගෝල් ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි. (සැවොම සිනාසෙති)

ඒක හන්දා මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණා. මේ ආණ්ඩුවෙ කවුරුහරි ඉන්නවාද මට වඩා ආරක්ෂාව ගැන දන්න අය. ඉන්නවා නම් මම ෆීල්ඞ් මාෂල් පට්ටම ගලවලා එයාට දෙනවා. කිසි ප‍්‍රශ්නයක් නෑ.

ඒක හන්දා අපෙන් ප‍්‍රයෝජන ගන්න. අපිට තාන්න මාන්න  ඕන නෑ. වෙඩි නොවදින රථ  ඕනත් නෑ. මොනවත් එපා. නමුත් මේ රටට යමක් කරන්න පුළුවන් හැකියාව තියෙනව කියලා හිතෙනවා නම්, ඒකට මොලේ තියෙනවා, දැනුම තියෙනවා කියලා හිතෙනවා නම් අපෙන් ප‍්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි. ‘යයිද ෆොන්සේකා මහතා පැවසීය.


RECOMMEND POSTS

RELATED POSTS