පලස්තීන අරගලයට සහාය



ස්වෙරී, ස්වාධීන, නිදහස් හා ජීවයෙන් පිරුණු රටක් වෙනුවෙන් පලස්තීන වැසියන් ගෙන යන අරගලයට ශ්‍රී ලංකාව අතිතයේදී මෙන්ම ඉදිරි අනාගතයේදීත් අඛණ්ඩව සහාය දක්වන බව කතානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවැසීය.

ශ්‍රී ලංකාව පලස්තීනය සමඟ දීර්ඝ කාලයක් මුළුල්ලේ ද්විපාර්ශවීක සබඳතා පැවැත්වූ බව පෙන්වාදුන් කතානායක කරු ජයසූරිය මහතා තම අපේක්ෂා සහ බලාපොරොත්තු ඉටු කරගැනීමේ පලස්තීන ජනතාවගේ සටනේදී සෑම විටම ඔවුන් සමඟ සිටින බව ද කීවේය. 

නොවැම්බර් 29 දිනට යෙදී තිබෙන එක්සත් ජාතීන්ගේ පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැති සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කතානායක කරු ජයසූරිය මහතා එම අදහස් පළ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් ද මෙම උත්සවය සඳහා ඔවුන්ගේ පණිවුඩ එවා තිබිණි. ඊට අමතරව මෙහිදි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයද කියවන ලදි.

ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය එක්ව එම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම උත්සවයේ ආරාධිත දේශනය සිදු කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීය.

“අපි දන්නවා පලස්තීනයේ දැන් ඇති වී තිබෙන අර්බුදය හුදකලා සිදුවීමක් නෙමෙයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යුරෝපයේ අත්පත් කරගන්නා ලද සෑම රාජ්‍යයකම එම රටවල් විවිධ සංස්කෘතීන්, ජාතීන් ආදී විවිධ ජනකොටස් අතර ගැටුම් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කළා. අසල්වැසි භාරතය ඉන්දියාව පාකිස්තානය ලෙස බෙදා වෙන් කළා. පසුකාලීනව පාකිස්තානය බංග්ලාදේශය විදියට කැඩි ගියා.

අවුරුදු 150ක බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු අදටත් අපේ රටේ තුළ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනකොටස් අතර සමගියක් ඇති කරගන්න නොහැකි වී තිබෙනවා. අද අපේ රට සමගියක් ගොඩගන්න බැරි රාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. එහි ආරම්භය, එහි පදනම වැටෙන්නේ බි්‍රතාන්‍ය පාලන සමයේදී බව කිව යුතුයි. පලස්තීනයත් එහෙමයි. 

ආරම්භයේදී පලස්තීනය වැදගත් ගමනක් ගියා. මාර්ග සිතියමේ ප්‍රධාන රටක් බවට පත්වුණා. මැදපෙරදිග ප්‍රධාන ස්ථානයක් වුණා. සම්පත් තිබෙන රටක් බවට පත්වුණා. ඛනිජ සම්පත් තිබෙන රටක් පලස්තීනය හැඳින්විය හැකියි.  කාලයත් සමඟ මැද පෙරදිග වැදගත් කලාපයක් බවට පත්වුණා. ලෝකය පුරා අධිරාජ්‍යවාදීන් මෙම සම්පත් හා ශ්‍රමය කොල්ලකෑම වෙනුවෙන් න්‍යාය පත්‍රයක් දියත් කළා. එම න්‍යාය පත්‍රය වෙනුවෙන් අද ලෝකයේ අවධානය යොමු කරගත් විනාශකාරීම දෙය සිදුවන්නේ පලස්තීනයේ. 

ලෝකේ කොතැනක මියගිය ඒ මියයන්නේ මනුස්සයෙක්. හැළෙන්නේ මනුස්ස ලේ. ශ්‍රී ලාංකිකයන් ලෙස අපි සියලු දෙනා පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඬ නැගිය යුතුයි. අපි ඉපදෙන්නේ කොහේද ? අපි අදහන ආගම කුමක් ද? සමේ පාට මොකක්ද වීමට කලින් අපි සියලු දෙනා මිනිස්සු. ලොව ඕනෑම තැනක මිනිස්සු ඝාතනයට ලක්වෙනවා නම්, ව්‍යවසනයට ලක්වෙනවා නම් ඒ සියල්ල අපි විරුද්ධ විය යුතුයි. මිනිස්සු හැටි ලෝකයේ කොතැනක මිය ගියත් මිය යන්නේ මිනිස්සු. ඒ නිසා පලස්තීනයේ සිදුවන මිලේච්ඡ සංහාරයට අපි විරුද්ධ විය යුතුයි. අපි කුඩා රටක් වෙන්න පුළුවන්. කුඩා රාජ්‍යයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඝාතන යුක්ති සහගත කරන්න අපට හැකියාවක් නැහැ. ඒවා අනුමත කරන්න බැහැ. ඒ නිසා පලස්තීන ජනතාවගේ නිදහස වෙනුවෙන් අපි සටන් වැදිය යුතුයි. මහා ගංඟා හැදෙන්නේ වැහි බිංදු බිංදු එකතුවෙලා. සෑම රටකම මිනිස්සු වෙනුවෙන්, මානව අයිතිය වෙනුවෙන් අපිට හඬ නගන්න පුළුවන් නම් එය මහා ජන මතයක් වෙනවා. අපි ‘පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරවු’ සටන්පාඨය යටතේ සටන් වැදිය යුතුයි” යැයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කීය.   

ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සුහයිර් මොහම්මද් හම්දල්ලාහ් සායිද්, ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුවේ සමසභාපති අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුද මෙහිදි අදහස් දැක්වූහ.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප - ගයාන් අමරසේකර

 


RECOMMEND POSTS

RELATED POSTS