පරිසරය සමඟ බැඳුණු බක්මහේ සැණකෙළිය



බක්මහ උළෙල හෙවත් සිංහල අලුත් අවුරුද්ද පරිසරය හා බැඳුණ ජාතික උත්සවයකි. එහෙයින් එය ගමට අසිරිය ගෙන එන සැණකෙළියක් බවට පත්විය. ඈත අතීතයේ පටන් ගමක් තවත් ගමකින් වෙන්වූයේ ස්වභාවික පාරිසරික සීමා ඇසුරෙනි. ගංගා ඇළ දොළ, කඳු වැටි, හෙල්, වනබිම් වැනි ස්වභාවික මායිම් ද මංමාවත් වෙල් යායන් ද ගමක් තවත් ගමකින් වෙන්කරන මායිම් විය.   


ගමේ වෙසෙන ගැමියන්ගේ ගෙවතු වෙන් කෙරෙන මායිම් සඳහා බොහෝ විට වූයේ පැළ ඉනි වැටකි. වැට එඬරු, එරබදු, ගිනිසීරියා, ගංසූරියා, අන්දර ආදී පැළෑටි හා ගස්, ගෙවතු වටා දක්නට ලැබුණි. ගමේ ගෙවතු කිහිපයක් එකදිගට මායිම් කෙරෙන මෙබඳු පැළ ඉනි වැටක් ඇති විට ඒ ආශ්‍රිතව බඩවැටියක් තිබෙනු දක්නට ලැබුණි. බෝවිටියා, මාදං, පලුකන්, කරඹ, ඇඹිල්ල, බාලොලියා, බලුදං ආදියෙන් යුක්ත මේ බඩවැටිය අවුරුදු සමයේදී ගමේ දරුවනට නදුන් උයනක් බඳු විය.   


බක්මහ එළැඹෙත්ම බඩවැටිය පුරා වූ ගස්වැල් ඵලින් බර වේ. ගම් මණ්ඩිය කරා යාමට ඇති දෙවැට දෙපැත්තේ වැඩුණු එරබදු ගස්වල රතුමල් කිනිති පිපෙද්දී, කජු ගස්වල ද අඹ ගස්වල ද මල් කිනිති හට ගන්නේ බක්මහ බගව්වට ඔච්චම් කරමිනි. සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟම එන බව පවසන මේ සොබාදහමේ පණිවුඩය හඬ ගා කියන එරබුදු ගහේ ලගින කොහාගේ කුහුකුහුවට නිගා දෙමින් මී මැසි බඹර කැල අඹ, කජු, බක්මී මල් ගොමුවල සිට ගුමු ගුමු නද දෙති.   


මාස් කන්නයේ වී අස්වනු නෙළා කොළදින් කරන ගොවියෝ මැටි ගා පිරියම් කළ වී බිස්සට හෝ අටුවට හෝ  වී අස්වනු පුරවති. ගැමි දරුවෝ කැපුණු ඉපනැල්ලේ චක්ගුඩු පනිති. පුල්ලෙයාර් ගසති. බුහු කෙළිති. අලුත් වීයෙන් කෙටූ සහල් සුඟක් බැඳගන්නා ගොවියෝ සංහිඳ ගාවට එක් වී අලුත් සහලෙන් පිසූ දානෙන් අලුත් සහල් මංගල්ලේ පවත්වති. අලුත් සහල් මංගල්ලෙන් ඇරඹෙන සූර්ය්‍ මංගල්‍යය සඳහා වැඩිහිටියෝ ද තරුණ තරුණියෝ ද දරු දැරියෝ ද එකාවන්ව ලහි ලහියේ සූදානම් වෙති.   


ගෘහණියෝ ගේ ​දොර පිරිබඩ ගා අවශ්‍ය කළමනා රැස්කර ගනිති. කැවිලි පෙවිලි සෑදීමට සූදානම් වෙති. මේ අතර ගැමි ගෙවල ගෘහ මූලිකයෝ ගොවි ද්‍රව්‍ය අලෙවි කර ලබා ගන්නා මුදලින් අවුරුදු සැමරීමට අවශ්‍ය අඩුම කුඩුම ගෙන එති. තම බිරිඳ ඇතුළු දූ දරුවනට මෙන්ම තම වැඩිහිටි මාපියනට අලුත් අවුරුද්ද සඳහා ඇඳුම් පැලඳුම් සැපයීම ගෘහ මූලිකයින්ගේ කාර්යභාරයකි.   


මේ වනවිට ගම ආසන්නයේ ඇති වෙළෙඳ පොළ වඩාත් සරුසාර බවක් දක්වයි. කෑම බීමට අවශ්‍ය කළමනා මෙන්ම රෙදිපිළි ද රතිඤ්ඤා පෙට්ටි ද අහස් කූරු ද හට්ටි මුට්ටි ද වෙළෙඳසල්වල ගොඩගසා ඇත්තේ එළැඹෙන සිංහල අලුත් අවුරුදු උත්සවය සඳහාය.   


වෙළෙඳ පොළෙන් මිලදී ගත් රෙදිපිළි රැගෙන ගමේ මැහුම් ගෙදරවල් කරා ඇදෙන ගැමි ලියෙන් තම දූ දරුවන්ට මෙන්ම තමන්ට ද අවශ්‍ය ඇඳුම් පැලඳුම් මස්සවා ගනිති. මේ අතර ගමේ තරුණ පිරිස් කුඩා කණ්ඩායම් වශයෙන් ගොනු වී ජනක්‍රීඩා සඳහා සූදානම් වෙති. කතුරු ඔංචිල්ලා බඳින්නෝ ගමේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ලැබ කල්තබාම ඒ සඳහා සූදානම් වෙති. ගම්බද තරුණයන් ගම්බාර දෙවියන්ට බාර හාර වී කතුරු ඔංචිල්ලා බැඳීම ආරම්භ කරන්නේ අවුරුද්දට සති දෙක තුනකට කලිනි. එය එ් තරම්ම අසීරු භාරධූර කාර්යයකි. මේ සඳහා අවශ්‍ය දැව දඬු රැහැන් ආදිය සපයා ගන්නේ අවට පරිසරයෙනි.   


මේ හැරෙන්නට ගහක හරස් අතට විහිදුන අත්තක හෝ සමීපව පිහිටි ගස් දෙකක් අතරේ බැඳුණ වාරම් ඔංචිලි බැඳීමට අවශ්‍ය කළමනා රැසකර ගන්නා තවත් පිරිසක් අවුරුද්දට සතියකට පමණ පෙර වාරම් ඔංචිලි බැඳීම සිදුකරති.   


මෙසේ බැඳගන්නා වාරම් ඔංචිලි ගැහැනු පිරිමි, බාල මහලු කොයි කාටත් වාරම් කියමින් පැදීමට වෙන්වෙයි. එසේ වූවත් ඇතැම් විට කුඩා දරු  දැරියන් සඳහාම මල්දම් යොදා අලංකාර කරන ලද ළමා ඔංචිලි විශේෂයක් බැඳීම ද ඇතැම් විට සිදු කරයි. ගෙවල් මණ්ඩියක් මැද තිබෙන පොදු අංගනයේ මෙසේ බැඳෙන ළමා ඔංචිල්ලාව හැඩ කරන්නට මවුවරු ද එක් වෙති.   


අවුරුදු දිනයේදී ගෙදර දොරේ ගොවිබිමේ කුඹුරේ වැඩවලින් නිදහස් වන ගැමි කාන්තාවෝ ද තරුණියෝ ද ගැටිස්සියෝ ද පොඩිස්සියෝ ද මල් මල් චීත්ත රෙද්දෙන් හා ඊටම ගැළපෙන හැට්ටයකින් ද සැරසී මුතුවැල් පටකින් ගෙල සරසාගෙන ඔංචිලි පදින්නට පැමිණෙති. සුවඳ කොකුම් ඇඟ තවරා මල්දමින් කෙස් කළඹ සරසාගත් ළමිස්සියෝ කෙළිබර සිනාහඬින් යුතුව එකිනෙකා පරයන කිංකිණි හඬින් වාරම් ගයමින් ඔංචිල්ලා පදිති. මේ අසිරිමත් දර්ශනය වසරකට වරක් දැක බලා ගැනීමට ලැබෙන පියදසුනක් බැවින් ගැමි තරුණයෝ ද හැඩවැඩ වී එතනට එක්වෙති. 

 
මෙවන් අවුරුදු සැණකෙලියක අසිරිය එකල ගමක් ගමක් ගානේ දිස්විය. වර්තමානයේ වුවද උඩරට කඳුකරයේ ගැමි සුවඳ නොමැකුණ ඇතැම් ගම් දනව්වල මෙවන් අවුරුදු අසිරියක සේයාවක් දැකගත හැකි වේ.   


ගමේ ළඳුනට මේ අන්දමට ඔංචිලි වාරම් ගයමින් කෙළිදොලෙන් කාලය ගත කරන්නට ලැබෙන්නේ අවුරුදු නැකත් අහවර වීමෙන් පසුවය. හෙවත් අලුත් අවුරුද්ද එළැඹීමෙන් පසුවය. ඊට පෙර ඔවුනට කළ යුතු කාර්යභාරයන් බොහෝ ඇත.  


අවුරුදු සමය උදාවත්ම මවත් ඇය ප්‍රධාන කොට ගත් නිවසේ සිටින කාන්තාවෝ අවුරුදු උත්සවය මහත් අසිරින් සමරන්නට සූදානම් වෙති. සූර්යාගේ ශක්තියෙන් මෙන්ම මව්වරුන්ගේ දායකත්වයෙන් එළැඹෙන සූර්ය මංගල්‍යය උදෙසා අවශ්‍ය කෑම බීම රසකැවිලි සකස් කරනු ලබන්නේ ගෘහණියන් විසිනි. අලුත් සහල් පීදීමෙන් පසු සිය වැඩිහිටි මාපියන් නැදිමයිලන් වෙත ද ගුරුවරුන් වෛද්‍යාචාර්යවරුන් වෙත ද අලුත සහලෙන් පිසූ බත් වේලක් ගෙන ගොස් දීමත්, ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා තම ශක්ති ප්‍රමාණයෙන් වී සහල්, මුං, මෑ ධාන්‍යාදිය ගෙනගොස් දී ඇයි හොඳයිකම් පැවැත්වීම ගැමි ජනයා තුළ අනාදිමත් කාලයක සිට පැවති සිරිතකි.   


ඉන්පසු අවුරුදු සමයට අවශ්‍ය වී සහල්, උඳු, මුං කොටා සකස් කිරීමත් සහල් පිටි, මුං පිටි, ආදිය කොටා පොළා හලා සකස් කෙරෙති. එකල හත් අට දෙනෙක් විසූ ගෙදරකට සතියකට දෙකකට අවැසි සහල් සකස් කරගන්නේ ද ගෙදර වංගෙඩියෙනි. කුඹුරු ගොවිතැනේදී මෙන්ම වී සහල් කෙටීම ද කෙරෙන්නේ අහල පහළ කාන්තාවන්ගේ සාමූහිකත්වයෙනි. අත්තම් ක්‍රමයම නොවූවද ගෙදරක බිම් මෝලෙන් කෙටීමට ගැහැනු එක්වෙති. සිංහල අවුරුදු සමයේදී මේ තත්ත්වය වඩාත් හොඳින් දිස් වේ.   


රසකැවිලි තනා ගැනීමට අවශ්‍ය සහල් පිටි, මුං පිටි, උඳු පිටි සකස් කර ගැනීමේදී වැඩිහිටි කාන්තාවෝ මෙන්ම ළද බොළඳ වියේ ගැටිස්සියෝ ද එක්වෙති. එමගින් කොටන පොළන හැටි, පිටි හලන අන්දම ඔවුහු මැනවින් ප්‍රගුණ කර ගනිති. දීග තුලානයක යාමට තරුණියකට උයන පිහන කාර්යයන් මෙන්ම කොටන පොළන වැඩ ගැන ද හසලත්වයක් තිබිය යුතුය.


සිංහල අලුත් අවුරුද්දට ගැමි ළඳුන් මෙසේ වී සහල් සකස් කර අහුරා තබද්දී, අවුරුදු ළඟ එන බව හඟවමින් අහසේ කොනකින් නව සඳ මතුවෙන දිනය උදාවෙයි. සිංහල අලුත් අවුරුද්දට සඳ බැලිය යුතු දිනයත් අනෙකුත් නැකත් චාරිත්‍රත් සඳහන් වන අවුරුදු සීට්ටුව ගමේ නිවැසියන් වෙත බෙදාහැරීම නැකත් රාල විසින් සිදු කරනු ලබයි. සඳ බැලීමේ චාරිත්‍ර එක් එක් පෙදෙස්වල වෙනස් වෙනස් චාරිත්‍ර අනුව සිදු කරයි. ඇතැම් අවුරුදුවල අවුරුද්දට පෙර එළැඹෙන්නේ පරණ අවුරුද්දට සඳ බැලීමේ චාරිත්‍රයයි.   
මෙම චාරිත්‍රයෙන් පසු එළඹෙන්නේ තෙල් වළං ළිප තැබීමේ චාරිත්‍රයයි. නියමිත දිනය අවුරුදු සීට්ටුවේ සඳහන් වෙයි. නියමිත දින ගෙදර ගෘහණිය සුබ දිසාව බලා තාච්චිය ළිප තබා කැවිලි බැදීමට අවශ්‍ය තෙල් තාච්චියට එක් කරන්නේ දෙවියන් බුදුන් සිහි කරගෙනය. නමෝ විත්තියෙන් තාච්චියට තෙල් ලන ​ෙමාහොතේ කිසිවෙක් කතා නොකර නිසොල්මන් වෙති. ඉක්බිති කොණ්ඩ කැවුම් ද හැදි කැවුම් ද මුං කැවුම් ද අතිරස වැනි කැවිලි සකස් කර අහුරා තබති. මේ කැවිලි අහුරා තැබීම පිණිස මැටි බඳුන් භාවිත කිරීම සිරිතකි.   
අවුරුදු උත්සවයට ආහාර සඳහා ගන්නා කැවිලිවලට අමතරව කල්තබා ගත හැකි අච්චාරු, ලුණුදෙහි, දෙහි ඇඹුල්, කෝන් ඇඹුල, අඹ ඇඹුල, බිලිං ඇඹුල ආදිය මේ වනවිට සකස් කර අවසන්ය.   


මේ අතර ගෘහමූලිකයා​ හෝ වෙනත් ගෙදර වෙසෙන පිරිමින්ගේ කාර්ය වන්නේ අවුරුදු මේසයට අවශ්‍ය කෙසෙල් කැනක් දෙකක් වළේ දමා ඉදවා ගැනීමය. මේ අන්දමට මුළු ගම්මානයම මහත් කඩිසරකමෙන් යුතුව සූදානම් වෙන්නේ දේශගුණික කාලගුණික මෙන්ම පාරිසරික සිද්ධිදාමයෙන් ද සූර්ය, චන්ද්‍ර පත්තිනි ඇතුළු දෙවි දේවතා ඇදහිලි ද සම්මිශ්‍රණය වූ සිංහල අලුත් අවුරුද්ද සැමරීමේ මහා මංගල්‍යය සඳහාය.   


ජන සමාජයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාව ශක්තිමත් කෙරෙන හුවමාරු හා සේවාවන් ලබාගැනීම අවුරුද්ද සැමරීමේ දී අත්‍යවශ්‍ය වේ. අවුරුද්ද ලැබීමට පෙර මුළුතැන්ගෙට අවශ්‍ය වළං ආදිය කුඹල් කර්මාන්තයේ යෙදෙන ජන කණ්ඩායම්වලින් සැපයේ. ඒ සඳහා ඔවුනට වී කුරහන් ආදී ධාන්‍යවර්ග ලබාදිය යුතු වේ. මුළුතැන්ගෙට අවශ්‍ය මිරිස්ගල, කුරක්කන් ගල, දෝහිගල ගැමියනට සපයන්නේ එම මෙවලම් නිපදවීමේ යෙදෙන දමිළ ගල්වඩුවන් විසිනි. මිරිස් ගලක් වෙනුවෙන් බරපැන වශයෙන් වියළි මිරිස් කරල් කුරුණියක් ද වී හාල් ද දෙන ගැමියෝ කුරහන් ගලක් වෙනුවෙන් කුරක්කන් කරල් ගෝණිමල්ලක් දෙකක් දෙති. මෙහෙවර කුල වශයෙන් ගොවි ගෙදරින් ලැබෙන ධාන්‍ය වර්ග, මිරිස්, අල බතල, ගිතෙල් පැණි හකුරු වැනි​ දේ බාර ගැනීම වැඩවසම් යුගයේ සිට පැවත ආ සිරිතකි. මීට අඩ සියවසකට පෙර තෙක් පැවති භාණ්ඩ හුවමාරු ක්‍රමය මෑතක් වන තෙක්ම වන බැද්දට මැදි වූ වියළි කලාපයේ ගම්මානවල දක්නට ලැබුණි.   


සිංහල අලුත් අවුරුද්ද බොහෝ සෙයින් ලාංකික ජනතාවට සුවිශේෂී වූ ජාතික උත්සවයක් වන්නේ එය කෘෂිකර්මය හා බැඳී පවතින්නක් වීම නිසාය. එය හිරුගේ ගමන මුල් කර ගන්නා වූ වසරක් ගෙවී නව වසරක් උදාවීම නිමිත්තෙන් සතියක් පමණ කාලයක් තුළ පවත්වන සිරිත් විරිත් මුල්කරගත් සශ්‍රීකත්වයේ යසෝරාවය කියාපාන උත්සවයකි. මෙවන් ජාතික උත්සවයක් වෙනත් කිසිම රටක ඇති බවක් වාර්තා නොවේ. ආගමක් හෝ ජාතියක් හෝ ඇදහීම් රටාවක් මුල්කර නොගත් ලෝකයේ පවතින එකම පාරිසරික ජාතික උත්සවය ලෙස බක්මහ උළෙල හෙවත් සිංහල අලුත් අවුරුද්ද හැඳින්විය හැක.   


 බක්මහේ පැවැත්වෙන හෙයින් බක්මහ උළෙල නමිනුත් සිංහලයේ (තුන් හෙළයේම) පැවැත්වෙන හෙයින් සිංහල අලුත් අවුරුද්ද යනුවෙනුත් හැඳින්වෙන මෙම අවුරුදු උත්සවයේ ප්‍රධාන නිමවුම්කරු වන්නේ හිරු හෙවත් සූර්යා හෙයින් ඊට සූර්ය මංගල්‍යය නමින් හැඳින්වීම ද කාලයක සිට පැවත ආවකි.   


සූර්ය වාස ක්‍රමය අනුව ගත් කල හිරු පෘථිවිය වටා මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා ආදී රාශි එකොළහක ගමන් කර අවසාන රාශිය වූ මීනට පැමිණ මීන රාශියේ අවසානය තෙක් (කොන දක්වා) ගමන් කර නැවත අලුත් ගමන් වාරයක් ආරම්භ කිරීමට මීන රාශියේ අවසානයේ සිට මේෂ රාශියට පැමිණීම මුල්කරගෙන පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සූර්ය මංගල්‍යයකි. එමෙන්ම අලුත් අවුරුද්දක ආරම්භයකි.


අවුරුදු කුමරුන් පුදා මල් පැල තුළ පහන් දල්වා සිරිත් විරිත් පවත්වන දෙවියන්ටත් ඉෂ්ට දෙවියන්ටත් පිං පෙත් පැමිණවුවද පුණ්‍ය කාලය තුළ තුන්දොර හික්මවා පස්පව්වලින් තොරව නොසිටිය හොත් නැවත අප වෙත ඉෂ්ට දෙවිදේවතාවුන්ගේ ඇල්මක් බැල්මක් නොලැබෙනු අැත. මේ කාලය තුළ විෂමාචාරයෙහි යෙදීම, මත්පැන් පානය කිරීම, ඌෂ්ණාධික ආහාර ගැනීම අතිශයින්ම අහිතකරය. එහෙයින් සිංහල අලුත් අවුරුද්දේ ඉසුරුමත් බව ළඟා කරගැනීම සඳහා අවුරුදු චාරිත්‍ර රැකීමත් එම චාරිත්‍ර ධර්මවලට අයත් පුණ්‍යකාලය තුළ ආගමික වතාවත් සිදුකර සිත, කය, වචනය හික්මවා භාවනායෝගීව විසීමත් කටයුතු ය.

 

සඳරුවන් ලොකුහේවා 


RECOMMEND POSTS

RELATED POSTS