සංක්‍රමණිකයන්ට පිටුපාන්න එපා



උන්සිටිතැන් අහිමිවී අසරණ වුණු මිලියන ගණනක් සංක්‍රමණිකයන්ට පිටුපාන්න එපා යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ නත්තල් දින දේව මෙහෙයේදී ඉල්ලීමක් කළහ.

සුපුරුදු පරිදි දේව මෙහෙය පැවැත්වූයේ වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේය. ‘සංක්‍රමණික අර්බුදය දිනෙන් දින උත්සන්න වන බව අපට පෙනෙනවා. නායකයන්ගේ පටු අරමුණු නිසා උන්හිටිතැන් අහිමි වී, උපන් ගම්බිම්වලින් සහ රටවලින් නෙරපා දැමුණු වැසියන්ට ඔබ පිහිටක් වෙන්න ඕනෑ. කිසිවිටකවත් ඔවුන්ට පිටුපාන්න එපා. ඔවුන් නොසලකා හරින්න එපා’ යැයි පාප්තුමෝ ලොව බිලියන 1.3 ක් වන කතෝලික ප්‍රජාව අමතමින් ඉල්ලා සිටියහ.

මැදපෙරදිග කලාපයේ සිවිල් යුද ගැටුම්, මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් පමණක් නොව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් හටගත් අර්බුද ගැන පාප්තුමෝ සිය දේව මෙහෙයේදී අවධානය මෙු කළහ.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණයත් සමඟ ඊශ්‍රායල පලස්තීන නව අර්බුදයක් නිර්මාණය විය. ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලය් අගනුවර ලෙස පිළිගත්තේ පසුගිය 6 වැනිදාය. එදා සිට මේ දක්වා ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇවිළෙමින් පවතී.

පසුගිය නොවැම්බර් 27 වැනිදා පාප්තුමෝ බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයේත් මුස්ලිම් රාජ්‍යයක් වන බංග්ලාදේශයේත් දංචාරය කළහ. එහිදී මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් සම්බන්ධයෙන් එතුමෝ සොයා බැලීමට ද අමතක නොකළාහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS