ලෝක නායකයක්ට අතුල් පහරක් දුන් දියණිය



ගෝලීය දේශගුණික වෙනස් වීම් සහ ඒවා පිටුදැකීම සම්බන්ධයෙන් විශේෂ රාජ්‍ය නායක හමුවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණි.

මෙම විශේෂ රාජ්‍ය නායක හමුවට රාජ්‍ය නායකයෝ 60 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. හමුව කැඳවා තිබුණේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් විසිනි.

හමුවට එක්වුණු රාජ්‍ය නායකයන් හමුවේ, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින උත්සන්න වන ගෝලීය දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ඉතා අවේගශීලීව සහ හැඟීම්බරව කරුණු දැක්වූයේ  16 හැවිරිදි පරිසර ක්‍රියාකාරිනිය ග්‍රෙටා තොන්බර්ග්ය.

ග්‍රෙටා ස්වීඩන ජාතික දැරියකි. ඇය මේවනවිට ලොව පුරා ජනප්‍රිය චරිතයක් බවට පත්වී ඇත්තේ පරිසර ක්‍රියාකාරිනියක ලෙසය. ග්‍රෙටා ඇමෙරිකාවට පැමිණියේ මීට සති කීපයකට පෙරය. ඒ, මෙම විශේෂ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමටය.

ඉකුත් සති අන්තයේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සංවිධානය කළ යොවුන් ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති පරිසර සුරැකීමේ සමුළුවට ද ග්‍රෙටා එක් වූවාය. රටවල් ගණනක යොවුන් පරිසර ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට පැමිණ සිටි බව වාර්තා විය.

පසුගිය සිකුරාදා (20) ලොව රටවල් රැසක පරිසර සුරැකීම වෙනුවෙන් ලෝක නායකයන්ට බලපෑම් කිරීමේ උද්ඝෝෂණ මාලාවක් පැවැත්විණි. ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැති උද්ඝෝෂණ පැවැත්වූයේ ග්‍රෙටාගේ මූලිකත්වයෙනි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, විශේෂ රාජ්‍ය නායක හමුව පැවැත්වූයේ ඊයේ (23) ය. පැමිණි ලෝක නායකයන් අතර සෞදියෙන් හෝ බ්‍රසීලයෙන් හෝ නියෝජිතයන් පැමිණ සිටියේ නැත.

ගෝලීය දේශගුණික වෙනස් වීම් පිළිබඳ තැකීමක් නොකරන චරිතයක් ලෙස ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සැලකෙයි. කෙසේ නමුත් කාගේත් පුදුමයට හේතුවක් ලෙස, සමුළුවට එක්වුණු රාජ්‍ය නායකයන් අතර ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද දකින්න ලැබුණි.

මෙය විදෙස් මාධ්‍ය අවධානය දිනා ගැනීමට හේතුවක් විය. ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සමුළුවට සහභාගීවීම ගැන ග්‍රෙටාගේ පැහැදීමක් නොතිබුණු බව එම සිදුවීමේ වීඩියෝ දසුන් ප්‍රසිද්ධියට පත් කරමින් විදෙස් මාධ්‍ය පැවැසීය.

විශේෂ රාජ්‍ය නායක සමුළුව අමතමින් ග්‍රෙටා තොන්බර්ග් කතා කළේ ඉතා කේන්තියෙන් සහ හැඟීම්බරවය.

‘මේක වැරදියි. මම මෙහෙම ඇවිත් කතා කළ යුතු කෙනෙක් නොවෙයි. හරිනම් මම මූදෙන් එහා අනෙක් පැත්තේ පාසලක අධ්‍යාපනය හදාරමින් ඉන්නයි ඕනෑ. ඒත් හැමෝම නව බලාපොරොත්තුවක් වෙනුවෙන් අදහස් විමසන්නේ තරුණ පරම්පරාවෙන්. එහෙම හරිද? ඔබ සැම (ලෝක නායකයන්) මගේ සිහින සොරකම් කළා. මගේ ළමා කාලය සොරකම් කළා. හිස් වචනවලින්. ඒත් මම වාසනාවන්ත අය අතරින් කෙනෙක්. මිනිස්සු විඳවනවා. මිනිස්සු මැරෙනවා. පරිසර පද්ධති මුළුමනින්ම විනාශ වෙමින් පවතිනවා. මනුෂ්‍ය වර්ගයාගේ මහා වඳවීයෑමේ ඇරැඹුමට මුහුණ දෙන්නයි අපට දැන් සිදුවෙන්නේ. ඒත් ඔබ සැම (ලෝක නායකයන්) සිතන්නේ සල්ලි ගැන පමණයි. ආර්ථික වර්ධනය ගැන සිහින මවනවා. සුරංගනා කතා කියනවා.

මිහිකතට සිදුවී ඇති හානියේ තරම පෙන්වන්න වාර්තා හෝ ප්‍රස්තාර හෝ ගණන් හිලව් හෝ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉලක්කම්වලින් එච්චරයි මෙච්චරයි කියලා බේරෙන්න බැහැ. ඔබ සැම (ලෝක නායකයන්) මේ ගැන ලැජ්ජා වෙන්න ඕනෑ. අලුත් පරම්පරාවට මොනවද මේ දායාද කරන්න හදන්නේ? ඔබ සැම (ලෝක නායකයන්) අපි අලුත් පරම්පරාවට ද්‍රෝහි වෙනවා නොවේද? අලුත් පරම්පරාවේ පමණක් නොවෙයි මතු පරම්පරාවේත් ඇස් ඔබ සැම වෙත යොමුවෙලා. මිහිකත සුරැකීම වෙනුවෙන් ඔබට යමක් කළ නොහැකි වුණොත්, අපේ සමාව කවදාවත් ඔබට ලැබෙන්නේ නැහැ.’

ග්‍රෙටා රාජ්‍ය නායකයන් හමුවේ පැහැදිලි කළාය.

විශේෂ රාජ්‍ය කායක සමුළුවට අවසන් වෙද්දී, ග්‍රෙටා දියණියට සහාය දක්වමින්, ජර්මන් චාන්සල්වරි ඇන්ජෙලා මේකල්, පරිසර හිතකාමිකු ද වන ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් දේශගුණික වෙනස්වීම් පිටුදැකීම සම්බන්ධයෙන් සහ පරිසරය සුරැකීම සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

කවුරුද මේ ග්‍රෙටා තොන්බර්ග් ?
ග්‍රෙටා තොන්බර්ග් උපත ලැබුවේ 2003 ජනවාරි තුන් වැනිදාය. ඇය පරිසර ක්‍රියාකාරිනියක ලෙස කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන්නේ වයස අවුරුදු 15 සිටය. දේශගුණික විපර්යාස නිසා සිදුවන බලපෑම් සම්බන්ධයෙන් විරෝධය දක්වමින්, 2018 වසරේ අගෝස්තු මාසයේ ග්‍රෙටා ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණ රැලියක් පැවැත්වූවාය. ස්වීඩන පරිසරවේදීන් සහ පරිසර සුරැකීමේ සංවිධාන රැසක් ඇයට සහාය දැක්වීය. ඇය මෙසේ උද්ඝෝෂණවලට එක් වූයේ ඇය අධ්‍යාපනය ලබන පාසලෙන් ඊට අවසර ලබා ගනිමිනි. ඇගේ පාසලේ බොහෝ දෙනෙක් ග්‍රෙටා දියණියගේ පරිසරය සුරැකීමේ ව්‍යාපාරයට එක්වී සිටිති. 2019 දී මැයි මාසයේ ලෝ සුපතල ‘ටයිම්’  සඟරාව ඔවුන්ගේ කවරය හැඩ ගැන්වූයේ ද ග්‍රෙටා දියණියගේ රුවිනි. ඒ, ඇය නව පරම්පරාවේ නායිකාවක බව පෙන්වා දෙමිනි. නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් ද ග්‍රෙටාගේ නම යෝජනා වී ඇත.

ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී. ස්කයි නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS