ලෝකවාසීහු අවුරුදු සමරති



ලොව රටවල් රැසක් 2018 නව වසර මහත් හරසරින් පිළිගත් අතර, ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වුණු තර්ජන හේතුවෙන් ප්‍රධාන නගර රැසකට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි.

අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් තර්ජන එල්ල වී තිබුණේ ඇමෙරිකාව, ප්‍රංශය ජර්මනිය ඇතුළු බටහිර රටවල ප්‍රධාන නගරවලටය. එහෙයින්, එම රටවල ආරක්ෂාව කෙරෙහි වැඩි අවදානයක් යොමු කෙරුණි.

සුපුරුදු පරිදි නව වසර පළමුවෙන්ම උදාවූයේ නවසීලන්තයටය. නවසීලන්ත පුවත් සේවා වාර්තා කළේ ඕක්ලන්ඞ් නුවර, ‘ස්කයි ටවර්’ කුලුනේ මල්වෙඩි සංදර්ශනය නැරැඹීමට මෙවර ලක්ෂ 15 කට ආසන්න පිරිසක් එක් රොක් වුණු බවය.

සුපුරුදු පරිදි සිඞ්නි නුවර, ඔපෙරා රඟහල කේන්ද්‍රකොට ගනිමින් අලංකාර මල්වෙඩි සංදර්ශන පැවැත්විණි. ඉස්පසු පිළිවෙළින් ආසියානු රටවල් නව වසර පිළිගත්තේය.

මේ අතර ඝන මීදුම් තත්ත්වයක්, ඉන්දියාවේ නවදිල්ලි නුවර වැසියන්ට නව වසර සැමරීමට බාධාවක් විය. නවදිල්ලි ගුවන්තොටයුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන්ට සිදුවිය. ගුවන් ගමන් කටයුතු අඩපණ වීමෙන් දස දහස් ගණනක් මගීහු දැඩි ලෙස අපහසුතාවට පත් වූහ.

අවුරුදු උදාවත් සමඟ නැගෙනහිර රුසියාවේ ෂැකලින්ක්ස් නුවර ඉදිකර තිබුණු අඩි 80 ක් උසැති දැවැන්ත නත්තල් ගසක් ගිනි ගැනීමෙන් මහ කබලයක් හටගත්තේය. ගින්නෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවුණු අතර ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

හොංකොං, ජකර්තා, ඩුබායි, මොස්කව්, බර්ලින්, පැරිස්, රියෝ දි ජිනැයිරෝ ආදී වශයෙන් ප්‍රධාන නගරවල මල් වෙඩි සංදර්ශන ද සමඟ අවුරුදු සැමරුම් සිදුවිය.

බර්ජ් කලීෆා කුලුන, පැරිස් නුවර අයිෆල් කුලුන ආදිය විදුලි බුබුළුවලින් අලංකාර විය. ත්‍රස්ත තර්ජන හේතුවෙන් පැරිස් නුවරට පමණක් හමුදාවේත් පොලිසියේත් 50,000 ක බළඇණියක් යොදා තිබුණු බව වාර්තා විය.

අවසන් වරට හිරු උදා වූයේ ඇමෙරිකාව ඇතුළු ඇමෙරිකා මහද්වීපයට අයත් රටවලටය. සුපුරුදු පරිදි නිව්යෝක් නුවර නව අවුරුදු සැමැරුම් පැවැත් වූයේ ද විශේෂ ආරක්ෂාවක් යටතේය. මෙවර නිව්යෝක් නුවරට අධික සීතල කාලගුණ තත්ත්වයක් බලපා තිබුණු අතර සීතලේ ගැහිගැහී නිව්යෝක් වැසියෝ අවුරුදු උදාව පිළිගත් බව එරට පුවත් සේවා වාර්තා කළේය.

(ඬේලිමේල්/රොයිටර්)


RECOMMEND POSTS