මොසූල් මුදා ගැනෙයි



මාස අටක දරුණු අවි ගැටුම්වලින් පසු, අයි.එස්. හෙවත් තක්ෆීරි  දයේෂ් ත්‍රස්තවාදීන් පරාජය කර, මොසූල් නුවර මුලුමනින්ම තම ග්‍රහණයට නතු කර ගත්තේ යැයි ඉරාක අගමැති හයිදර් අල් අබාදි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මොසූල් යනු ඉරාකයේ දෙවැනි විශාලතම නගරයයි. අයි.එස්. හෙවත් තක්ෆීරි දයේෂ් ත්‍රස්තවාදීන් මෙම නගරය අත්පත් කර ගත්තේ 2014 වසරේදීය. ඉරාක හමුදා, ඇමෙරිකන් හමුදාවේත් සී.අයි.ඒ. බුද්ධි අංශයේත් සහාය ලබා ගෙන මොසූල් මුදා ගැනීමට සටන් ආරම්භ කළේ පසුගිය වසර අවසානයේ සිටය.

අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් යනු සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් සැදුම්ලත් සන්නද්ධ කණ්ඩායමකි.ඉරාකයේ සුන්නි, ෂියා සහ කුර්දි වශයෙන් ජන වර්ග වාසය කරන අතර, බෙදුම්වාදී ආකල්ප හේතුවෙන් සුන්නි අන්තවාදීන්ගේ ගැටුම් නිර්මාණය වීමට පෙර, සුන්නි සහ ෂියා වැසියෝ සමඟියෙන් ජීවත් වුණු බව අගමැති හයිදර් අල් අබාදි සිහිපත් කළේය. යළිත් වරක් එවැනි ‘සමඟියක්’ ඉරාකයේ නිර්මාණය වේවි යැයි ද අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

අවි ගැටුම් මැද නගරයේ කොටස් එකිනෙක මුදා ගැනීමට ඉරාක හමුදාවෝ සමත් වූහ. ‘ජයග්‍රහණය කළා. මොසූල් නගරය දැන් අපේ අතේ’ යැයි ඉරාක සේනාධිනායකයා ද වන එරට අගමැති හයිදර් අල් අබාදි පැවැසුවේ හමුදා නගරයේ සංචාරයක නියැළෙමිනි.

ඉරාක හමුදා සොල්දාදුවන් සහ හමුදා ප්‍රධානීන් එම අවස්ථාවේදී ඔල්වරසන් දුන් බව ද වාර්තා විය. නගරය මුදා ගැනීමට හමුදා මෙහෙයවූ හමුදා ප්‍රධානීන් හමුවී සුබ පැතීමටත්, ත්‍රස්ත ග්‍රහණයෙන් මිදුණු මොසූල් සිවිල් වැසියන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසා බැලීමටත් අගමැතිවරයා අමතක නොකළේය.

මොසූල් නුවර ගැටුම් හේතුවෙන්, 8,62,000 ක පිරිසක් අවතැන් වූහ. ගැටුම් ආරම්භ වෙද්දී, බොහෝ දෙනා නගරයේ කොටු වූයේ අයි.එස්ත ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙසිනි. අයි.එස්. ත්‍රස්තයන් එම සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගෙන සිටි හෙයින්, ඉරාක හමුදාවට නගරය මුදා ගැනීම අසීරු විය.

මොසූල් නගරය කෙමෙන් කෙමෙන් තම ගහණයට නතු කර ගැනීමත් සමඟ මේ වනවිට අවතැන් වුණු සිවිල් වැසියන් 1,95,000 ක් යළි ඔවුන්ගේ නිවාස වෙත පැමිණ ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් දරුණු අවි ගැටුම් හේතුවෙන් නගරය මුළුමනින්ම පාහේ විනාශ වී ඇතැයි ද පැවැසෙයි. යළි පැමිණෙන සිවිල් වැසියන් වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් ලබා දෙන බවත්, ඔවුන්ට හැකි අයුරින් සියලු පහසුකම් සපයන බවටත් අගමැතිවරයා ප්‍රතිඥා දී ඇත.

මොසූල් නුවර මුදා ගැනීමට ඉරාක රජය සහ හමුදාව සමත් වීම සම්බන්ධයෙන් අසල්වැසි ඉරානය සතුට පළ කර ඇත. ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති මොහොමද් ජවාද් සෆීරි ඉරාක රජයට සුබ පතමින් පවසා ඇත්තේ, ත්‍රස්තවාදය මුලිනුපුටා දැනීමට ඉරාක රජය කටයුතු කිරීම සුබවාදී බවය. ඉරාකයේ මොසූල් නුවර අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම ගැන යුරෝපා සංගමය ද සුබ පතා ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS