නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරුණු වනුෂි



ශ්‍රී ලංකාවේ උපත ලැබූ නවසීලන්ත පුරවැසිභාවය හිමි තරුණියක වන වනුෂි වෝල්ටර්ස් නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටී.

ඒ, ඊයේ (17) පැවැති නවසීලන්ත මහ මැතිවරණයෙනි. වනුෂි මැතිවරණයට ඉදිරිපත් වූයේ, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයෙනි.

මහ මැතිවරණයෙන් අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්ගේ කම්කරු පක්ෂය අති විශිෂ්ට බහුතර බලයක් දිනා ගත්තේ නවසීලන්ත දේශපාලන ඉතිහාසයේ පෙරැළියක් කරමිණි.

1993 වසරේ නවසීලන්ත මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමෙන් පසු, කිසිදු පක්ෂයකට කිසිදු මැතිවරණයකදී බහුතර බලය හිමි වී නැත. ඊයේ පැවැති මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය සිය බලය තහවුරු කර ගත්තේ ආසන 64 ක් දිනා ගනිමිනි.

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ආසන 120 කි.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ වනුෂි වෝල්ටර්ස්, නවසීලන්තයට සංක්‍රමණය වෙද්දී ඇගේ වයස අවුරුදු 5 කි.

අද, 39 හැවිරිදි ඇය,  මානව හිමිකම් පිළිබඳ නීතිඥවරියක සහ සමාගම් කළමනාකාරිනියක ලෙස රැකියාව කරයි.

වනුෂි වසර 6 ක් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ, විදෙස් නියෝජිතවරියක ලෙස ද කටයුතු කළාය. ඇය නීතීඥවරියක වූයේ ජාත්‍යන්තර අත්දැකීම් රැසක් සමගිනි.

වනුෂි මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ, වයඹ දිග ඕක්ලන්ඩ් අපර් හාබර් ඡන්ද කොට්ඨාශය නියෝජනය කරමිණි.

වනුෂි සැමවිටම ඇය පදිංචි අපර් හාබර් ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයකිනි. විදේශ සම්භවයක් සහිත නවසීලන්ත වැසියෝ බොහෝ දෙනෙක් අපර් හාබර් නිවහන කරගෙන ජීවත් වෙති.

වනුෂි වෝල්ටර්ස්, අපර් හාබර් වැසියන්ගේ ආදරයටත් ගෞරවයටත් ප්‍රාත වූ තැනැත්තියකි.

පසුගිය කාලයේ සාධාරණ අයුරින් රැකියා බෙදී යෑම, රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම, කොවිඩ් 19 වසංගතය හමුවේ රැකියා අර්බුදයට ලක් වුණු පුද්ගලයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කර දීමට මැදිහත් වීම ආදී සමාජ සේවා කටයුතු රැසකට වනුෂි මැදිහත් වූවාය.‍

වනුෂිගේ සැමියා රේස් වන අතර ඔහු නෝර්ත් ෂෝ පළාතේ පදිංචිකරුවෙකි. එහෙයින් නෝර්ත් ෂෝ වැසියන් අතරේ ද වනුෂි කැපී පෙනෙන චරිතයක් බව පැවැසෙයි. වනුෂි එලියට්, ලූකා සහ සාෂා නමැති පුතුන් තිදෙනකුගේ මවය. වනුෂිගේ මව ෆර්න් ය.

ලුසිත ජයමාන්න
නවසීලන්ත පුවත් සේවා ඇසුරිනි

RECOMMEND POSTS