ට්‍රම්ප් ආපසු ධවල මන්දිරයේ



ට්‍රම්ප් රෝහලෙන් පිටවී යද්දී ...

‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයකු යැයි තහවුරු වීමෙන් පසු තෙදිනක් වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, වයිරසය සුවවීමට පෙර, වෛද්‍ය උපදෙස් නොකමින්, යළි ධවල මන්දිරය බලා පැමිණියේය.

මේරිලන්ඞ් පිහිටි හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට ට්‍රම්ප්, යළි ධවල මන්දිරයට පැමිණියේ සිය ‘මැරීන් 1’ නිල හෙලිකොප්ටරයෙනි. ට්‍රම්ප් වෛද්‍ය මධ්‍යස්ථානය බලා ගියේ ද මෙම හෙලිකොප්ටරයෙනි. වොෂින්ටන් අගනුවර පිහිටි ධවල මන්දිරයේ සිට වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇත්තේ කිලෝ මීටර් 8.6 ක දුරකි.

ට්‍රම්ප් රෝහලෙන් යද්දී, ඔහුගේ ආධාරකරුවෝ අත වනමින් ...

ජනපති ට්‍රම්ප් පිටවී ඇත්තේ තමන් ලබා දෙන උපදෙස් සැලකිල්ලට නොගෙන යැයි වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරු පෙන්වා දුන්හ. ට්‍රම්ප් තවමත් කොරෝනා ආසාදිතයකු බවත්, ඔහුගේ අනෙක් අයට වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් පවතින බවත් රෝහලේ වෛද්‍යවරු අනතුරු ඇඟවීමක් ද කළහ.

සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක අංශ පිරිවරා ගනිමින්, ට්‍රම්ප් රැගත් යළි ධවල මන්දිරයට පැමිණියේ  වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට රැස්කමින් සිටි ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන්ට අත වනමිනි. ට්‍රම්ප් රැගත් ‘මෙරීන් 1’ හෙලිකොප්ටරය පිටව යද්දී, ආධාරකරුවෝ ඇමෙරිකන් ධජ වනමින්, ප්‍රීති ඝෝෂා පවත්වන්න වූහ.

‘මා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා. කොවිඞ් වයිරසයට බය වෙන්න එපා. ඔබේ ජීවිතේ පාලනය කරන්න වයිරසයට ඉඩ දෙන්න එපා. හැකි ඉක්මණින් මා ජනපතිවරණ ප්‍රචාරණ කටයුතු යළි ආරම්භ කරනවා. මට ඉක්මණින් සුව වුණා. සමහරවිට මගේ සිරුර වයිරසයට ප්‍රතිරෝධයක් දක්වනවා වෙන්න පුළුවන්’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත. ධවල මන්දිරයට පැමිණි ට්‍රම්ප් ධවල මන්දිරයේ සඳලු තලයට ගොස් පැලඳ සිටි මුහුණු ආවරණය ගලවා මාධ්‍යවේදීන්ට සහ ධවල මන්දිරය ඉදිරිපිට රැස්ව සිටි ආධාරකරුවන්ට පෙනෙන ලෙස අත වැනුවේය.

ජනපති ට්‍රම්ප් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටවූයේ, එහි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුති කරමිණි. ට්‍රම්ප් මෙන්ම ජනපති ආර්යාව මෙලානියා ද කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වී ඇත. මෙලානියා ධවල මන්දිරයේ හුදෙකලා වී සිටින අතර වෛද්‍යවරු ඇය සම්බන්ධයෙන් පැය 24 පුරාවට විමසිල්ලෙන් පසුවෙති. මෙලානියාගේ තත්ත්වය යහපත් බව ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පැවැසුවේ පසුගිය සති අන්තයේය.

ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙයි. රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන්නේ ට්‍රම්ප්ය. ඒ, දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙනි.

මෙරීන් 1 හෙලිකොප්ටරය ධවල මන්දිරයට පැමිණෙමින් ...

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වී, ඇමෙරිකාව ලොව කොරෝනා කේන්ද්‍රස්ථානය වී ඇතැයි යන්න ඇමෙරිකානුවන් සියයට 70 දෙනකුගේ විශ්වාසයයි. මේ වනවිට ඇමෙරිකාවේ වයිරස ආසාදිතයන් ගණන මිලියන 7.4 ක් පසු කර තිබේ. ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 2,10,000 පසු කළේය. ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ට අවාසියකට හේතුවක් වන එකම කරුණ වන්නේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කොරෝනා වයිරස කළමනාකරණය යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ධවල මන්දිරයේ විෂබීජහරණය සිදුවෙමින් ...

කොරෝනා වයිරස ආසාදතියකු ලෙස හඳුනා ගත් අවස්ථාවේදී ට්‍රම්ප්ටත් මෙලානියාටත් තවමත් අත්හදා බැලීම් සිදු කරන ඖෂධ රැසක් ලබා දීමට වෛද්‍යවරු කටයුතු කළහ. තමන් රුසියාව නිපදවූ කොරෝනා මර්දන එන්නත පවා ලබා ගත්තැයි එක් අවස්ථාවක ජනපති ට්‍රම්ප්ගේ එක් ට්විටර් පණිවුඩයකින් දැනුම් දුන්නේය.

ට්‍රම්ප්ගේ වයස අවුරුදු 74 ක් බැවින්, ඔහු සිටින්නේ අවදානම් වයස් කාණ්ඩයේය. වෛද්‍යවරුන් ට්‍රම්ප්ට දොස් නගමින් පවසා ඇත්තේ ට්‍රම්ප් ජනපති ආරක්ෂක අංශ නිලධාරීන්ගේ ජීවිත අනතුරේ දමා, ධවල මන්දිරයට යෑම ඉතාමත් අණුවන ක්‍රියාවක් බවය.

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ ධවල මන්දිර වෛද්‍ය ෂොන් කොන්ලි පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින යහපත් අතට හැරෙමින් පවතින හෙයින් ඔහු ගැන බියක් ඇති කරගත යුතු නැති බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS