ග්ලැසියරයක් වෙනුවෙන් අවමඟුලක්



ගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස අයිස්ලන්තයට අහිමිවුණු ‘ඔකියෝකුල්’ නමැති ග්ලැසියරය වෙනුවෙන් විශේෂ අවමංගල උත්සවයක් පැවැත්විණි. ග්ලැසියරයක් වෙනුවෙන් අවමංගල්‍යයක් පැවැත්වුණු ලොව පළමු අවස්ථාව මෙයයි.

ග්ලැසියරයක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු ඝන අයිස් ස්ථරයකි. වසර දහස් ගණනකට පෙර අතීතයේ පෘථිවියෙන් වැඩි ප්‍රමාණයක් ග්ලැසියර්වලින් ආවරණය වී තිබුණු බව භූ විද්‍යාඥයෝ පැහැදිලි කරති. ග්ලැසියර දකින්න ලැබෙන්නේ ධ්‍රැවාසන්න ප්‍රදේශවලය.

අද ග්ලැසියර බොහොමයක් දකින්න ලැබෙන්නේ අයිස්ලන්තයේ, ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවට අයත් ප්‍රදේශවලය. උතුරු ඇමෙරිකාවේ රොකී කඳු වැටිය මුදුනේ, යුරෝපයේ ඇල්ප් කඳුකරයේ, දකුණු ඇමෙරිකාවේ අන්දීස් කඳුකරයේ ද කුඩා ප්‍රමාණයේ ග්ලැසියර් දකින්න ලැබේ. පහත් බිම්වලට ජලය ලැබෙන්නේත් මෙම ග්ලැසියර නිසාය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින ගෝලීය උණුසුම ඉහළ යද්දී ග්ලැසියර් දියවීමේ වේගය සීඝ්‍රයෙන් වැඩි වී තිබේ.

ගෝලීය උණුසුම හේතුවෙන් අයිස්ලන්තයට අහිමි වුණු පළමු ග්ලැසියරය ඔකියෝකුල් ය. ග්ලැසියරය වෙනුවෙන් අවමංගල උත්සවය පැවැත්වූයේ ග්ලැසියරය පිහිටි ස්ථානයට රැස්වුණු සියයකට වැඩි අයිස්ලන්ත වැසියන් පිරිසකගේ ප්‍රධානත්වයෙනි.  අයිස්ලන්ත බලධාරීන් සහ පරිසර සුරැකීමේ සංවිධාන නියෝජනය කරන ක්‍රියාකාරීහු ඒ අතර සිටියහ.

අයිස්ලන්ත අගමැති කාටින් ජැකොබ්ස්රින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මේරි රොබින්සන් ද අවමංගල සැමරුමට එක් වූහ. ‘ගෝලීය උණුසුමේ අනිසි ප්‍රතිඵලයක් හැටියට ‘ඔකියෝකුල්’ ග්ලැසියරය අපට අහිමි වෙලා. මේක සුළුවෙන් තකන්න බැහැ. ගෝලීය උණුසුම ඉහළ යන්නේ මිනිස් අපේ ක්‍රියාකාරකම් නිසා. දැන්වත් අපි කවුරුත් එක්වෙලා පරිසරය ආරක්ෂා නොකළොත් අපේ වළ අපි විසින් කපා ගත්තා වේවි’ යැයි මේරි රොබින්සන් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නාය.

‘ඕකේ’ නමැති යමහල (ගිනිකන්ද) ඉහළ ‘ඔකියෝකුල්’ ග්ලැසියරය පිහිටා තිබුණි. අවමංගල්‍යයට සහභාගී වූ පිරිසට යමහල ඉහළට නැගීමට පැය දෙකක කාලයක් ගත විය. යමහල මුදුනට වන්නට ‘ඔකියෝකුල්’ ග්ලැසියරය වර්ග කිලෝ මීටර් 16ක ප්‍රදේශයක් පුරා පැතිර තිබුණ අතර, අද වනවිට දකින්න ඇත්තේ තැනින් තැන අයිස් පැල්ලම් කිහිපයක් පමණක් යැයි එහි ගිය මාධ්‍යවේදීහු පවසති.

‘ඔකියෝකුල්’ යමහල වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වුණු අතර ශෝක පණිවුඩ ඉදිරිපත් කෙරුණු අතර ග්ලැසියරය සිහිපත් කරමින් සොහෙන් කොතක් ද සවි කෙරුණි. ගෝලීය උණුසුම හේතුවෙන් අයිස්ලන්තයට අහිමි වුණු පළමු ග්ලැසියරය මෙය යැයි ‘ඔකියෝකුල්’ වෙනුවෙන් ගුණ කථනයක් කළ අයිස්ලන්ත අගමැතිවරයා පැවැසීය.

ගෝලීය උණුසුම හේතුවෙන් ‘ඔකියෝකුල්’ ග්ලැසියරය විනාශ වී යෑම ආරම්භ වී ඇත්තේ 2014 දීය. එම අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලින් පසු භූ විද්‍යාඥයන් නිවේදනය කළේ ‘ඔකියෝකුල්’ ග්ලැසියරය විනාශ වීම ආරම්භ වී ඇති බවත් එය යළි යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාවක් නොමැති බවත්ය. ඊට අමතරව අයිස්ලනත්යේ තවත් කුඩා ප්‍රමාණයේ ග්ලැසියර් 400 ක් ද විනාශ වීමේ තර්ජනයට ලක් වී ඇතැයි ද භූ විද්‍යාඥයෝ එම අවස්ථාවේදී අනතුරු ඇඟවීමක් කළහ.

රේගවික් නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS