ඕමාන කථානායක අපේ රටේ



කථානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ කථානායක (රාජ්‍ය සභාවේ සභාපති) ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතා (Dr.Yahya Mahfood Al Manthri) ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පාර්ලිමේන්තුව වෙත පැමිණියහ.

ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතාගේ (Dr.Yahya Mahfood Al Manthri) නායකත්වයෙන් යුත් මෙම දූත පිරිසට ඕමාන රාජ්‍ය සභාවේ නියෝජිතයන් වන අබ්දුල්ලා සයිඩ් අල් සයි (Abdullah Said Al Saifi), ආචාර්ය මූනා අහමඩ් අල් සාදූන් (Dr.Muna Ahmed Al Saadoon), ආචාර්ය සයිඩ් මුබාරක් අල් මුහරාමි (Dr.Daid Mubarak Al Muharrami), ආචාර්ය ඉස්මයිල් සාලේ අල් අජ්බාරි (Dr. Ismail Saleh Al Aghbari), සාබා බින්ට් මොහොමඩ් අල් බාලානි (Ms Sabah Bint Mohamed Al Bahlani) යන මහත්ම මහත්මීන්ට අමතරව ඉහල පෙලේ නිලධාරීන් පිරිසක් ද අයත් වූහ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ලෝකයේ සෙසු රටවල පාර්ලිමේන්තු අතර අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව පසුගිය කාලය තුල විදෙස් රටවල් 60 කට වඩා වැඩි සංඛ්‍යාවක් සමග ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට හැකි විය.

මෙම වැඩ සටහන යටතේ කථානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් පසුගිය සඳුඳා දිවයිනට පැමිණි ඕමාන කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිස ජනාධිපති, අගමැති සහ විදෙස් ඇමතිවරයා ද හමු වූහ.

ඕමාන දූත පිරිස සමග පැවැති සාකච්ඡාවට කථානායක කරු ජයසූරිය මහතා සමග ලසන්ත අලගියවන්න, ඉරාන් වික්‍රමරත්න යන නියෝජ්‍ය ඇමතිවරු සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ද එක් වූහ.

මෙහිදී ඕමාන කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිස සඳහන් කළේ ලෝකයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව යනු තමන් බෙහෙවින් ඇළුම් කරන රටක් බවයි.

ශ්‍රී ලංකාවේ වෘතිකයන්ට ගැලපෙන රැකියා අවස්ථා සැලසීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සඳහා සිය රටෙහි ආයෝජකයන් දිරිමත් කිරීමේ හැකියාව මෙන්ම මෑතක සිට මැද පෙරදිග වැසියන් සංචාරය කිරීමට ඉතා උනන්දුවක් දක්වන රටක් වන ශ්‍රී ලංකාව සමග සංචාරක කර්මාන්තයෙහි සබඳතා ප්‍රවර්ධනය කිරිම ආදිය පිලිබඳව සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු වූ අතර, දෙරට අතර ආරම්භ වී ඇති අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS